හේනේ පැලේ නිදිවරනා
අප්පච්චී...
බඩකට පුරවන්න පැල් රැක්කා
තුන් වේලේ..
මේකුළු පර්වතය මෙන්
සෙනෙහස උතුරද්දී..
කිසිදා නොදැනුනිද වෙහෙසක්
මයේ අප්පච්චී..
♡♡ශෂී♡♡✍
හේනේ පැලේ නිදිවරනා
අප්පච්චී...
බඩකට පුරවන්න පැල් රැක්කා
තුන් වේලේ..
මේකුළු පර්වතය මෙන්
සෙනෙහස උතුරද්දී..
කිසිදා නොදැනුනිද වෙහෙසක්
මයේ අප්පච්චී..
♡♡ශෂී♡♡✍
ළඳුනේ...
ළඳුනේ...
ඔබේ දෑස
දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝ දහක් අත
ගත්තද සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම
නොකියන වීදි සරණ ළඳුනේ..
තෙල් මල් ගෙන
දෝත පුරාමුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක
ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ
බුදුන් දැක
නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන
ඔබ ද
පටාචාරාවකී ඔබ ද කිසාගෝතමියකි
පිරිමින්ගෙ
පාප කඳට දෝස විඳින ළඳුනේ..
අඳුරේ පව් කරන
දනා එළියෙ රවන ළඳුනේ..
ළැම පමණක්
ලොවට පෙනෙන
ළය නොපෙනෙන
ළඳුනේ...
කුහුඹුවකුට
වරදක් නැති වැරදිකාර ළඳුනේ...
පද රචනය :නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය :ප්‍රේමසිරි කේමදාසයන්
සමාජයේ සියලු දෙනා කතා කිරීමට අකමැති, පිළිකුල් කරන කාන්තා චරිතයක සැබෑ ස්වභාවය රංබණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් මෙම පද්‍ය පෙළට අන්තර්ගත කොට ඒ පිළිබඳ සාකච්ජාවට භාජනය කරයි. අප සමාජයේ ජීවත් වන ඕනෑම පුද්ගලයකු දෙස බාහිරින් බලා විමසා ඔහු හෝ ඇය පිළිබඳ කරුණු විනිශ්චය කළද සැබවින්ම ගතහොත් ඔවුන්ගේ ජීවිත කතාව වෙනස් විය හැකිය. සානුකම්පිත විය හැකිය. මෙම පද්‍ය පන්තියේ සඳහන් වන කාන්තාව සාමාන්‍ය කාන්තාවක් නොවේ. ඇය පොදුවේ නොසලකාහරින ගණිකාවකි. බාහිරින් මිනිසුන් ඇය පිළිබඳ විනිශ්චය කොට වැරදි පැටවුවද සැබවින්ම ඇයව යමෙකුට තේරුම්ගත හැකිනම් ඇයගේ යථාර්තය තේරුම්ගත හැකිවනු ඇත.
පිරිමින් දහසක් දෙන ඇයගේ අත ගත්තද ඇයට ස්ථිර සැමියෙකු නැත. සැමියකුගෙන් රැකවරණයක් ඇයට නැත. ඇයට සහෝදරයෙක්, සහෝදරියක්,නෑයෙක්, හිතමිතුරෙක් නැත. සිටියද ඔවුන් මැය ඔවුන්ගේ නෑයෙකු ලෙස පැවසීම පිළිකුල් කරයි. කිසිදු හව් හරණක්,ආදරයක්,සෙනෙහසක්,රැකවරණයක් නොමැති ඇය ජීවිතයට මුහුණ දෙයි. ඇයට ඇගේ නමින් කවුරුන් හෝ සිටියානම් ඇයට මෙසේ වීදී වල සැරිසැරීමට සිදු නොවේ. ඇය මේ සමාජ තත්වයට ඇද වැටෙන්නට ඇත්තේ යම් පුද්ගලයකුගේ ක්‍රියාකලාපයක් නිසා වීමට පුළුවන. සමාජයේ මිනිසුන් විසින් ඇයට ගැරහුම්, අවනම්බු කළද ඇයව පිළිකුල් කළද ඇය සවසට මේ සියල්ලෙන්ම සමාව අයැද සිතට සහනයක් ලබා ගැනිමට තෙල්,මල්,රැගෙන ඇය නුවර මාළිගාවට පිවිස දළඳා සමිදුන් වැඳ පුඳා ගනී. සමාජයේ සියලු දෙනා ඇයව පිලිකුල් කළද , ඇය වරදකාරියක ලෙස හංවඩු ගැසුවද ඇයට මෙලොව ඇති එකම පිිහිට බුදුන් සරණ යාමයි. ඇයට සැබෑ අස්වැසිල්ලක්, සිතට සහනයක් ලැබෙන්නේ මේ තුළිනි.
ජීවිතයේ යම් කලකිරීමක්, වැරැද්දක් නිසා ඔවුන් ඒ තත්වයට වැටුණද ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් මෙන් හැඟීම් දැනීම් දැනෙන, විඳින මිනිසුන්ය. ඔවුන්ගේ එක් ක්‍රියාවක් දැක ඔවුන් පිළිබඳ විනිශ්චයක් ලබා දීම නොව අප කළ යුත්තේ ඔවුන්ගේ සැබෑ තත්වය, භූමිකාවන් තේරුම් ගැනීමට උත්සහ කිරිමයි. ඇය ලෝකයාට වරදිකාරියක වී ඇත්තේ ඇයිද? පිරිමින්ගේ දෝස කඳට යටත් වන ඇයව වරදිකාරියක ලෙස හංවඩු ගසන්නේද ඇයගෙන්ම කම්සැප විඳින පිරිමින් විසිනි. ලෝකයාට රහසේ වැරදි කරන මිනිසුන් සමාජ ඉදිරියේ වෙස්මුහුණු පැළඳ නිවරදිකරුවන් වන අතර, කුහුඹුවකුටවත් වරදක් නොකරන මේ ස්ත්‍රියට වැරදිකාරියක ලෙස නම් තබයි. ඇයගේ ළැම ලෝකයට පෙනුනද කිසිවකුට ඇයගේ ළය නොපෙනේ. දෙනෝදහක් දෙන ඇයගේ අත ගෙන ඔවුන්ට අවැසි පහස ලැබුවද ඔවුන් දකින්නේ ඇයගේ ළැම පමණකි. ලෝකයා ඉදිරියේ අසරණව සිටින ඇයට අන් පිළිසරණක් නොමැතිකම නිසා ඇය වේදනාවන් තුරුල් කරගනිමින් ලෝකයා ඉදිරියේ මෙසේ හෑල්ලුවට ලක්වෙයි. සමාජයේ අප තවත් පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කිරීමට පෙර අප ඔවුන්ගේ සැබෑ යථා ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ දැරිය යුතුය.
♡♡ශෂී♡♡✍
අලංකාරවාදී
සාහිත්‍ය විචාරය නමැති සංකල්පය සමාජය හමුවේ යථාර්ථයක් බවට පත් වන්නේ විවිධ ප‍්‍රවණතා
සංවර්ධන වීමත් සමඟය. විශ්ව සාහිත්‍ය විචාර වාද අධ්‍යයනය කිරීමේදී ‘විචාරය’ යන පදය
ක‍්‍රි. පූ යුගය දක්වා දිව යයි. එය කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්,
01).පෙරදිග
සාහිත්‍ය විචාරය
02).අපරදිග
සාහිත්‍ය විචාරය
පෙරදිග සාහිත්‍ය විචාරයේ නිජබිම ලෙස අපට
අවිවාදයෙන් පිළිගත හැකි වන්නේ භාරතයයි. එහිදී අපට විචාර ග‍්‍රන්‍ථ කිහිපයක් මෙලස
දැකගත හැකිය. භරතමුනිගේ - නාට්‍යශාස්ත‍්‍රය, භාමහගේ - කාව්‍යාලංකාරය, දණ්ඩීන්ගේ -
කාව්‍යාදර්ශය, විශ්වනාථගේ - සාහිත්‍යදර්පණ, ධනංජයගේ - දශරූපය. එසේම අපරදිග සාහිත්‍ය
විචාරයේ කේන්‍ද්‍රස්ථානය ලෙස පිළිගැනෙන්නේ ග‍්‍රීසියයි. මුල් කාලයේදී ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක‍්‍රටීස් යන දාර්ශනිකයන් තුළින් මෙම මතවාද පිළිබඳ සුවිශේෂී ඉඟි පහළ
වී ඇත. මෙහිදී අපගේ අවධානය යොමු කරනු ලබන්නේ පෙරදිග සාහිත්‍ය විචාරය කෙරෙහිය. භාරතයේ
ඉපැරණිතම ආගමික සාහිත්‍ය මූලාශ‍්‍රයන් ලෙස පිළිගැනෙන වෛදික සාහිත්‍යයේ පටන්ම ක්‍රිස්තු
වර්ෂ කාලසීමාවන් ඇරඹීමත් සමඟ සාහිත්‍ය විචාරයේ නවතාවන් ඉස්මතු විය. එහි ප‍්‍රධානතම
කාරණය නම්, කාව්‍ය විචාර සංකල්ප ඇති වීමයි. ඒ අතර කවිය
යනු කුමක්ද? කාව්‍යයේ ස්වභාවය කෙසේද? කවියා යනු කවුද? කවිය හා අකෘතිය යනු කුමක්ද?
කවිය තුළ පැවතිය යුතු ලක්‍ෂණ මොනවාද? යනාදි
කරුණු සම්බන්ධයෙන් තර්ක විතර්ක, වාද විවාද ඇති විය. එහි ප‍්‍රතිඵලයක්
වශයෙන් සංස්කෘත කාව්‍ය විචාරවාද බිහිවිය. එනම්,
මෙම විචාරවාද
අතුරින් අලංකාරවාදය සංස්කෘත විචාර ධාරාව තුළ වැඩි අවධානයක් දිනාගත් විචාරවාදයකි.
‘‘සංස්කෘත විචාර මතවාද කිහිපයක් බිහිවූ නමුදු,
ඒ සියල්ලටම වැඩියෙන් කාව්‍යකරණයෙහි බලපෑවේ අලංකාරවාදය බව පෙනේ’’
ඒ අනුව අපට එළඹිය හැකි පොදු චින්තනය නම් අලංකාරවාදය සෙසු විචාරයන්ට වඩා අත්‍යන්තයෙන්
බැඳී ඇති බවයි. ඒ බව සංස්කෘත සාහිත්‍යයේ ගුරු තැන්හිලා ගරු බුහුමන් කරන විදග්ධ පඬිවරුන්ගේ
ප‍්‍රකාශ මඟින් විද්‍යමාන වේ. ඒ අනුව කාව්‍ය විචාර සිද්ධාන්ත කෙරෙහි අලංකාරවාදය
කෙතරම් තදින් බලපෑවේද යන්න මෙම සාධක මඟින් පසක් වෙයි. එනම්, සංස්කෘත ශස්ත‍්‍රඥයින් බොහෝ දෙනෙක් අලංකාර පක්‍ෂය කෙරෙහි වැඩි අවධානයක්
දැක්වීමයි. ‘‘අලංකාරවාදීන් විසින් හුවා දක්වන්නට යෙදුණු යම් යම් කාව්‍යාංග පැරණිම
මහා කාව්‍ය රචකයින් වන අශ්වඝෝෂ කාලිදාසාදීන් පවා උපයෝගී කොට ගැනුණු බව පෙනේ.’’
විචාර මාර්ගයක් ඔස්සේ සිදුකර ඇත්තේ යම්කිසි කාව්‍යයක හාත්පස විමසා බලා එහි නියම
රසය පාඨකයාට හුවා දැක්වීමයි. ඒ අනුව අලංකාරවාදය මගින් කවියක මූලික අරමුණ වන රස
ජනනය කිරීමට අවශ්‍ය අනුශාසනා නොමඳව ලබා දී ඇත. එම අලංකාරවාදී න්‍යාය, ලක්‍ෂණ
අනෙකුත් විචාර මාර්ගයන්ගෙන් අලංකාරවාදය කැපී පෙනෙන්නටත්, වැඩි
ශාස්ත‍්‍රඥයින්ගේ අවධානය දිනා ගැනීමටත් හේතු සාධක වී ඇත. අලංකාරවාදයේ ප‍්‍රවණතා
භරතමුණිගේ නාට්‍යශාස්ත‍්‍රයේ ආදි ස්ථානවල විටින් විට, ටිකෙන්
ටික දක්නට ලැබුණද, එහි උච්චතම අවස්ථාව ලෙස දක්නට ලැබෙන්නේ
ක්‍රි.ව. හත්වන ශතවර්ෂයයි. එනම්, කාව්‍යාලංකාරය නම් ප‍්‍රථම
අලංකාරවාදී කෘතිය රචනා වීමත් සමඟය. ‘‘අලංකාරවාදය අරබයා ලියවුණ සංස්කෘත පොත්පත්
අතුරින් අපට ලැබී ඇති පැරණිතම පොත හැටියට සැලකෙන්නේ ‘කාව්‍යාලංකාර’ නම් ග‍්‍රන්‍ථයයි.’’
මෙම කෘතියෙහි කර්තෘ ලෙස පිළිගැනෙන්නේ භාමහ පඬිවරයාය. එම නිසාවෙන් අලංකාරවාදයෙහි
පියා ලෙස හඳුන්වනු ලබන්නේද මොහුය.
♡♡ශෂී♡♡✍
ක්රි :
හිම දිය වී හිමාලයේ ...
යමුනා ගඟ නඟයි තරංගා ...
සුදු පෙණ කැටි බලන්න රාධා ...
රා :
සුළඟ හමයි සීතල සාදා ....
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා ....
ක්‍රි :
සිනා රැලි නඟා උතුරන ...
ඔය හදවත් නීල ජලාශේ ...
පීනන මේ ස්වර්ණ හංසයෝ ....
අකීකරු ද මෙතරම් රාධා ...
රා :
ඉඩ දී දෙන්නට දඬුවම් ....
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා ....
ක්‍රි :
මල් පෙති පොඩි වී ඉකිලන ...
මේ හෝපලු යහන් තලාවේ ...
සඳ දිය මිණි මෙවුලට වැටිලා ....
දෑස නිලංකාරයි රාධා ...
රා :
ගිලිහී ගිය දෙන් මිණි කැට...
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා ...
පද රචනය : ධම්මික බණ්ඩාර
ගායනය : අමරසිරි පීරිස් & වසන්තා තිලකාංගනී
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා
රාධා ක්‍රිෂ්ණා යනු ආදරයේ සංකේතයයි. රාධා ක්‍රිෂ්ණාගේ ආදරය හා ඔවුන් දෙදෙනාගේ කාමසම්භෝග අවස්ථාවක් පාදක කොටගනිමින් ධම්මික බණ්ඩාර මහතා විසින් අලංකෘත ලෙස මෙම පද්‍ය මාලාව හුදෙක් සහෘදයන්ගේ රසවින්දනය උදෙසා ගෙනහැර දක්වා ඇත. මෙයට පාදක වී ඇති කතා පුවත ලෙස ධම්මික බණ්ඩාරයන් පවසන්නේ ,
"රාධා හා ක්‍රිෂ්ණා කෙළිදළෙන් යුතුව ආදරයෙන් මුසපත්ව රාගිකව සතුටින් සිටින අතර මොවුන් දෙදෙනා , ඔවුන් දෙදෙනාටම සකස් වූවා වැනි සුන්දර ගොපලු ගමක ජිවත් වෙයි. ක්‍රෂ්ණා අනෙක් ගොපලු කෙල්ලන්ගේ බැල්ලමට හසු වී, ක්‍රිෂ්ණා එයින්ද සතුටක් විඳි අතර මේ බව දැනගත් රාධා ක්‍රිෂ්ණා තමා හැර වෙනත් ගොපලු කෙල්ලන් සමඟ ඇසුරු කරනවා යැ'යි සිතා ක්‍රිෂ්ණාගෙන් දුරස් වෙයි. ටික කාලයක් ගත වූ අතර ක්‍රිෂ්ණාට රාධා නැතිවද, රාධාට ක්‍රිෂ්ණා නැතිවද සිටිය නොහැකි බව ඔවුන් තේරුම් ගනී. ක්‍රිෂ්ණාට තමා රාධා සමඟ ආදරයෙන් කාමසම්භෝගීව හැසිරුණු ඇකාරයද රාධාටද තමා ක්‍රිෂ්නා සමඟ ප්‍රේමයෙන් සිටි ආකාරයද සිහිවෙයි. නමුත් දෙදෙනා වෙන්ව සිටින අතර මේ දෙදෙනාගේ සැබෑ ආදරය වටහා ගත් ගොපලු කාන්තාවන් විසින් ක්‍රිෂ්ණා රාධා නැවත එක් කරයි. මෙහිදී ඉමහත් ප්‍රීතියෙන් හා ප්‍රේමයෙන් යුතුව ක්‍රිෂ්ණා රාධා එදින රාත්‍රිය ගත කළ ආකාරය මෙම කවියට පසුබිම් කොටගෙන ඇත. "
ගීතය ආරම්භයේ ක්‍රිෂ්ණා පවසන්නේ හිමාලයේ හිම දිය වී යමුනා ගඟේ ජල ප්‍රමාණය ඉහළ ගොස් තරංග ආකාරයෙන් රැළි නඟමින්, සුදු පෙණ කැටි නඟමින් ගංඟාව ගලා යන ආකාරය පිළිබඳවය. මෙය තුළින් අරුත් ගැන්වෙන්නේ ක්‍රිෂ්ණා රාධා දෙදෙනාගේ කාමසම්භෝග සිතුවිලි වල ස්වරූපයයි. ක්‍රිෂ්ණා හට පිළිතුරු දෙමින් රාධා පවසන්නේ සීතල සුළං දසත පැතිරෙන බව හා සීතල ගිනි ගනීද යන ප්‍රශ්නය ක්‍රිෂ්ණාගෙන් විමසා සිටී. මෙයින් අරුත් ගැන්වෙන්නේ සිතල නිසා ඇතිවන ගිනි දෙකකි. එනම් මීදුම හා කාමයයි. මෙහිදී රාධා කාමය පිළිබඳ, කාමයේ ස්වරූපය පිළිබඳ පවසයි. පසුව ක්‍රිෂ්ණා පවසා සිටින්නේ රාධාගේ සිනා රැළි නඟා උතුරන හදවත් ජලාශේ වෙසෙන ස්වර්ණහංසයන් අකීකරු බවයි. රාධාගේ ළමැදේ පියයුරු හඳුන්වා ඇත්තේ ස්වර්සහංසයන්ට සමාන කරමිනි. ප්‍රේමයෙන් හා රාගයෙන් වෙළී සිටින ක්‍රිෂ්ණා පවසන්නේ රාධාගේ පියයුරු අකීකරු බවයි. රාධා ඊට ප්‍රතිචාර දක්වන්නේ ස්වර්ණහංසයින් අකීකරු නම් ක්‍රිෂ්ණාට කැමති දඬුවමක් දෙන්නට ඉඩහැර තමා දෑස පියාගෙන සිටින බවයි.
ක්‍රිෂ්ණා රාධා යමුනා ගං තීරය අසබඬ සිහිල් සුළං පහස විඳිමින් ඔවුන්ට රිසි සේ ප්‍රේමයෙන් මුසපත්ව සිටී. ඒ සඳහා අවශ්‍ය ලෙස පරිසරයද හැඩගැසී ඇති බව මෙම කවිය තුලින් කෙරෙන පරිසර වර්ණනා තුළින් අපට ගම්‍යමාන වේ. මොවුන් වැතිර සිටින්නේ යමුනා ගඟ අසබඬ අශෝක මල් යහනාවක් මතය. ක්‍රිෂ්ණා හා රාධාගේ කාමසම්භෝගයේ ස්වරූපය සහෘදයාට ඒත්තු ගන්වන්නේ අශෝක මල් පෙති තැලී පොඩි වී ඉකි ගසනා බව කියැවෙන පද්‍ය තුළිනි. ඔවුන්ගේ මේ සුන්දර රාත්‍රිෙය් චන්ද්‍රයාද සුන්දර ලෙස අහසේ බැබළෙමින් දිස් වෙයි. චන්ද්‍රයාගේ ආලෝකය රාධාගේ ඉනෙහි බැඳි මිණි මෙවුල මත පතිත වී ක්‍රිෂ්ණාගේ දෑස් නිලංකාර වන බව පවසයි. ක්‍රිෂ්ණාගේ දෑස් යොමුව ඇත්තේ කුමකටද යන්න සඳ එළිය සමඟ මුසු කරමින් කවියා මෙහිදී ව්‍යංගයෙන් පවසයි.එහි සුන්දරත්වය විඳීමට මිණි මෙවුල තමාට බාධාවක් වී ඇති බව ක්‍රිෂ්ණා පවසයි. මිණි මෙවුලෙහි මිණි කැට ගිලිහී ගියමුත් ක්‍රිෂ්ණාට රිසි සේ හැසීරීමට තමා ඉඩ හරින බව පවසමින් රාධා ක්‍රිෂ්ණාට ඒ සඳහා අවසරය ලබා දෙයි.
ක්‍රිෂ්ණා රාධාගේ නැවත එක් වීමේ මේ ශෘංගාරාත්මක රාත්‍රිය පරිසර වර්ණනාවන් පාදක කොට ගනිමින් අලංකාර ලෙස සංයමයෙන් යුතුව මෙම පද්‍ය නිර්මාණය කර ඇත. ඔවුන්ගේ එක් වීමට පරිසරයේද ආශිර්වාදය ලැබේ. ක්‍රිෂ්ණා රාධාගේ ශෘංගාරාත්මක තිඹිරිගෙය ඉතා රමණීය ලෙස එකිනෙක මුසු කරමින් ලියවුණු රසවින්දනාත්මක පද්‍ය පෙළක් ලෙස අපට මෙය හඳුනාගත හැකිය.
♡♡ශෂී♡♡✍
මද්දු මාදං ගහේ උඩම අත්තට වී හිඳ කළු ගැසුණු මාදං කඩා පැත්තකින් ඉරී ඇති කොට කලිසම් සාක්කුවට ඔබා ගනී..
ලොක්කක්කේ මේ..
අනේ මද්දු මටත්..
බිමට කඩා දමන මාදං මද්දුගේ ලොකු අක්කා වන මහීමා එකතු
කරයි..
ලොක්කක්කේ ආං අර කුරුල්ලා.. උගේ නම මොකක්ද ලොක්කක්කේ..
අනේ මංදා මද්දු..
උගේ පුක රතුයිනේ ලොක්කක්කේ.. අපි ඌට දාමු පුක රත්තා
කියලා..
මහීමා හයියෙන් සිනාසී අහුලාගත් මාදං වලින් එකක් ගෙන කටට දමා ගත්තාය.
දැන් යමු නේද
මද්දු රෙදි ටිකත් ඇල ගාව..
ආ අක්කා නඟාලා දං කඩන්න ඇවිත් වගේ..
මද්දු ගහේ ඉඳන් බිම බැලුවේ ගැස්සීය.. නමුත් ලොක්කකගේ මුහුණේ
ඇඳී තිබුනේ සිනහවකි. මද්දුට ඒ කටහඬ කාගෙදැයි සිතා ගැනීමට අපහසු වූ නමුත් මහීමා නම් ඒ
කටහඬ ඇසෙන තුරු බලා සිටියා වැනිය. ඒ සිරිමල් අයියාය. ගුණවතී නැන්දාගේ එකම පුතා වන
සිරිමල් අයියා ලොක්කක්ගේ පන්තියේ බව මද්දු දන්නා කරුණකි.
දඩාස්...
මද්දු ගහේ සිට එකපාර
බිමට පැන..
ඇයි සිරිමල් අයියා
කඩලා දෙන්නද ඇහුවේ..
කඩලා දෙන්න බැරිකමක් නෑ ඉතින්..
ම්ම්ම්ම් ඕනේ නෑ
අපි කඩා ගත්තා.. ලොක්කක්කේ අපි යන්..
කියමින් මද්දු ඉස්සර විය. මහිමාට සිරිමල් සමඟ කතා කිරිමට
තදබල ලෙස වුවමනා වුවද මද්දු දෙදෙනාගේ මුහුණ දෙස වරින් වර බලමින් සිටී.
යමුකෝ ලොක්කක්කේ..
මෙතෙක් වෙලා යාමට හදිස්සි වූ මහීමාට දැන් වගේ වඟක් නැත.
අපි යනවා සිරිමල්..ආ මෙන්න
මාදං ගෙඩි කිහිපයක් සිරිමල්ගේ අතේ තැබූ මහීමා යන්නට හැරුනාය. මද්දු ගහේ නැඟ කැඩූ මාදං සිරිමල් අයියාට දෙනු දැකීමෙන් මද්දු තුළ තරහක් ඇති විය..
අනිද්දා එනවද පන්සලට..?
යාම පමා කරමින් සිරිමල් අයියා ලොක්කාගෙන් අසයි.
ම්ම්ම්ම් එන්න බලන්නම්..
හෙමින් යමුකෝ මද්දු..
මහීමා පිටුපස බලමින් මද්දුට කියයි..දිය පාර අසලට දුව ආ මද්දු ඡබොග් ගා වතුරට පැන්නේ දෙවරක් නොසිතාය.
හා..හා.. බොර කරන්නේ නැතුව නානවා මද්දු.. පල්ලෙහා කුසුමේ
නැන්දලා නානවා.. දන්නවනේ කට..
මහීමා චීත්තය ඇඳ ගොඩ ගසා තිබූ රෙදි සෝදන්නට විය.
ලොක්කක්කේ මේ....
මද්දු තරමක් හඬ නඟා කෑ ගසන්නට විය.
කුඩා ඇල පහරට බැස රෙදි සෝදමින් වෙනම ලොවක අතරමංව සිටි මහීමා ගැස්සී බැලුවේ සිදු වූ දෙය සිතා ගත නොහැකිවය.
මොකද මද්දු බෙරිහන් දෙන්නේ මං උඩ
ගියා..
ඉතිම් ලොක්කක්කේ උඩ ගිහින් බිම වැටුනේ නැද්ද..
මද්දු අත දිගු කර පෙන්වමින් ඇසුවාය.
මේ...
මද්දු අල්ලාගත් මාලු අක්කාට පෙන්වමින් බෝතලයකට දැම්මාය.
අනේ පවුකාර වැඩ කරන්න එපා මද්දු.. අහිංසක සත්තු
ඔය..
කිසිවක් ගාණකට
නොගන්නා ඇය නෑසුනා සේ තවත් මාලුවකු අල්ලා ගැනීමට දිය පහර දෙසට නෙත් යොමු කළාය.
ඒක නෙවෙයි මද්දු....
මද්දුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ගොදුරක් ඩැහැ ගැනීමට
මාන බලමින් සිටින සතෙකු සේ ඇය ඇසිපිල්ලම් ද නොගසා දිය පහර දෙස බලා සිටී. අසල තිබූ
පනිට්ටුවට වතුර පුරවාගත් මහීමා මද්දුගේ දෙසට එය මුදා හැරීයේ මද්දුට කිසිවක් සිතා
ගැනීමට පවා ඉඩක් නොතබිමිනි. සිදු වූයේ
කුමක්දැයි සිතා ගත නොහැකිව මද්දු විශාල කරගත් දෙනෙතින් යුතුව පිටුපස හැරී බැලුවාය.
මහීමාගේ සිනහව මද්දුගේ කෝපයට හේතු විය. මද්දු වටපිට බලා අතට හසුවන දෙයක් නොතිබූ
බැවින්, මහීමා නා හැඳ ගැනිමට ගෙනවිත් තිබූ ඇඳුම් පොදිය දෙවරක් නොසිතා වතුරට දාමා
එහා ඉවුරෙන් ගොඩ වී ගෙදර දිව්වාය.
බෙදා තිබූ බතල පිඟානෙන් කෑල්ලක් කටේ ඔබා ගනිමින් මද්දු
පිළ මත වාඩි විය. මද්දු පොල් සමඟ හනා බතල
කමින් මිඳුලේ පොල් අතු වියමින් සිටි අම්මා දෙස බැලුවාය.
අම්මේ.. මං කුසුමා නැන්දලාගේ ගෙදර ගිහින් එන්නද ටිකක්..
ඇයි උඔට ඒ ගෑණි
එක්ක තියෙන ගණුදෙනුව මොකක්ද..
නෑ මං ඉස්කෝලේ ඉදන් එද්දි කිව්වා ඒ පැත්තේ ඇවිත් යන්න
එන්න කියලා.
අනේ මේ මද්දු.. ගෙදරට වෙලා මේ තියෙන වැඩක් කරපන්. එක එක
ගෑනුන්ගේ ගුබ්බෑයම් අස්සේ රිංගන්නේ...
මද්දු කෝ බං අක්කා තාම නානවද..
මං දන්නෑ..
බතල පිඟාන දෙස බලමින් මද්දු කීවාය.
ඇයි බන් උඹත් එක්කනේ ගියේ..
හූම්ම් එනවා ඇති දැන්..
මද්දු මවට පිළිතුරු දෙමින් කුස්සියට ගොස් සේදූ පිඟාන
මේසය මත තබා පස් කණ්ඩියෙන් ගොඩ වී දුවන්නට විය.
උඹ එපා කියද්දිම යනවා නේද වරෙන්කෝ ගිහින්..
අම්මා කෑ ගසමින් බනින හඬ මද්දුට ඈතට ඇසෙයි.
ඉස්තොප්පුවේ හිඳ පලා තෝරන කුසුමා නැන්දා වෙනදා නැති
කලබලයකින් පලා වට්ටියට විසි කරමින් පාර දෙස බලයි. තමා පැමිණීම පවා කුසුමා නැන්දාට
වඟක් නොවූ බැවින්, මද්දු කටහඬ අවදි කළාය.
ඇයි නැන්දේ අද
මාලතී අක්කවත් ගෙදර එනවා කිව්වද..
වෙනදාට කුසුමා නැන්දා මඟ බලා සිටින්නේ ඇයගේ එකම දියණිය
වූ මාලතී අක්කා ගෙදර පැමිණෙන දාටය.
ආ මද්දු කොයි වෙලේද උඹ ආවේ.
දැන් ටිකක් වෙලා නැන්දේ..
බිම බලාගෙන ඇඟිල්ලකින් බිම
පහුරු ගාමින් මද්දු කීවාය.
මේ ඒක නෙවෙයි මද්දුවෝ...උඹ උඩහින් එනකොට පාල මාමා එහෙම දැක්කේ නැද්ද..
කුසුමා නැන්දා විවාහ වී සිටින්නේ ගුණපාල මාමා සමඟය. කුසුමා
නැන්දා ආදරේට ඔහුට කියන්නේ පාල කියාය. ගමේ සියලු දෙනාද ඔහුට පවසන්නේ පාල යන නමින්ය.
නෑ නැද්දේ මං දැක්කේ නෑ...
කුසුමා නැන්දා කටකොනින් සිනාසෙන්නේ කුමකටද කියා මද්දු
විපරම් කළාය. එහා පාරේ සෝමේ මාමා අප සිටින දෙසට පැමිණෙමින් සිටී.
මං ඒත් බැලුවා අපිව අමතක වෙලාද කියලා.
වෙනදා නැති සංවර
බවකින්, පැද්දෙමින් කුසුමා නැන්දා සෝමේ මාමට පැවසුවාය.
මේ අර සුමනේගේ
ලමයා නේද..
මුහුනනට මුහුණ බලමින් සිනාසෙමින් සිටි දෙදෙනාගේ ඇස් මේ
වන විට මද්දු දෙසට යොමු වී ඇත.
ආ ඔව්.. ඔව්..
මද්දු දැන් උඹ ගෙදර පලයම් අම්මා හොයනවා ඇති.
නෑ නැන්දේ මං අම්මට කියලා ආවේ..
යැයි පවසමින් මද්දු
ඉස්තොප්පුවේ වාඩි විය.
සෝමේ මාමා මද්දු අසලට පැමින ඔලුව අත ගා,
ආ.. මේකට හන්දියේ කඩෙන් ලොසින්ඡර අරන් වරෙන් මද්දුවෝ අපිටත් එක්ක..
පවසමින් සත පනහේ කාසියක් මද්දු අත තැබුවේය.
හා මාමේ..මං පටස් ගාලා අරන් එන්නම්..
යැයි පවසමින් මද්දු පස් කණ්ඩිය දිගේ පහළට බසිමින් දිව්වාය.
මද්දු හන්දියේ කඩෙන් ගත් ලොසින්ජර ගණන් කරමින් කුසුමා නැන්දලාගේ ගෙදර පැමිණියද ගෙදර දොර වසා දමාය. ගේ වටේ ඇවිදිමින් බැලුමුත්
පිටුපස දොරද වසා දමාය. මද්දුට කිසිවක් සිතාගත නොහැකිය.
මේ හදිස්සියේ කුසුමා නැන්දා කොහේ ගියාද.. මද්දු තමාටම කියා
ගත්තාය.
එකවරම ගේ ඇතුලින් කටහඩක් සිහින්ව මද්දුට ඇසෙයි.
කුසුමා නැන්දේ.. නැන්දේ...
යනුවෙන් මද්දු බෙරිහන් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නැත.
අතේ තිබූ ලොසින්ඡරයක් කටේ දමාගත් මද්දු බෑවුම දිගේ ගෙදරට දිව්වාය. මද්දු පැමිණෙන විට මහීමා කුප්පි ලාම්පු එලියෙන් රොටී වඩමින් සිටියාය.කුප්පි ලාම්පු එළියෙන් දිස්වන මහීමාගේ මුහුන දෙස මද්දු බලා සිටියේ ලොක්කක්කා කුමක් හෝ පවසයි යන බලාපොරොත්තුවෙනි.
ආ ලොකු නෝනා.. රෝන්දේ ගිහින් ආවද..
මද්දු
ගැස්සි බැලුවේ තමාගේ පිටුපසින් ආ එම
කටහඬටය.
ඉණට අත් දෙක
තියාගෙන තමා දෙස බලා සිටි අම්මා සැණෙකින් මද්දුගේ කණෙන් අල්ලා දෙපැත්තට
සොලවමින්,
මං උඹට හැමදාම කියනවා නේද ගෙවල් ගානේ ඇවිඳ ඇවිඳ ගෑනුන්ගේ
කටවල් දිහා බලන් ඉන්න එපා කියලා.
අම්මේ අම්මේ.. කුසුමා නැන්දට පාල මාමා හොදටෝම තඩි බානවා.. හැමෝම එහෙ දුවනවා.
අක්කගේ කතාව නිසා මද්දු ගුටි කෑමෙන් බේරිණ.
කුසුමා නැන්දා ගැනත් අපි නොදන්නවැයැ ලොක්කි. නිකන් ගහන්නේ නෑනේ පාල මාමත්..
ඔවුන්ගේ කතා බහට මද්දුද හවුල් විය.
ආ අම්මේ.. හවස
එහා පාරේ සෝමේ මාමා එහෙට ආවා මං ඉද්දි.. පස්සේ මට ලොසින්ජර ගේන්න සල්ලි දුන්නා. මං
ඒවා අරන් අයේ යනකොට කුසුමා නැන්දත් නෑ සෝමේ මාමත් නෑ...
ඒ කොයි වෙලේද මද්දු.. මහීමා ඇසුවාය.
හවස මං එහේ
ගියේ..
අම්මා අක්කගේ මුහුණ දෙස බලා සිනා සී බිම බලා ගත්තාය.
පාල මාමා එක අතකින් හරි.. අම්මා එසේ කියා නැවත මා දෙසට
දෑස් යොමු කළාය.
හැබැයි මද්දු තව එක පාරක් හරි උඹ ගිහින් අහුවෙයන්කෝ..
මද්දු බිම බලාගෙන, පිඟානෙහි වූ රොටියක්ද අතට ගෙන එය උඩ
දමමින් ගෙහි මැද දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පු එළියට ඇඳි එන කුඩා මැස්සන් පිච්චී
යන අයුරු බලා සිටින්නට විය.
හා.. හා.. සිරිසේන කොලුවෝ.. ම..ට.. දැන් යන්න පුළු..වන්. උබ
පලයන් දැන්.. ආපු පා..ර මතකයි නෙහ්...
එලියෙන් ඇසෙන එම හඬට ඇහුම්කන් දෙමින් සිටි මද්දු, කටහඬ අඳුරගත්
සැණින් හිඳ සිටි තැනින් නැඟිට කුස්සියට දිව්වාය..
අම්මේ අම්මේ.. තාත්තා එනවා..
මද්දු තම මවට තුරුල් වෙමින් පැවසුවාය..
හා හා ලොක්කි.. උඹ නංගිත් එක්ක පලයන් කාමරේට..
බිම එළා තිබූ චිත්තය මත ගුලි වු මද්දු කන් යොමා සිටියේ
තාත්තා බීමතින් පවසන දේටය. අම්මා ගැන
අනුකම්පාවක් ඇයට දැනෙයි. එදින සිදු වූ සියල්ල යලි ආවර්ජනය කරමින් මද්දු නින්දට
වැටුනා පමනි ඇය ගැස්සී අවදි වුයේ අම්මාගේ ඒ වේදනාකාරී විලාපයත් සමඟය.
බුදු අම්මෝ.. ලොක්කියේ..
මද්දුගේ මව කියූ අවසන් වචන ටික
වූයේ එයයි.
සිදු වූ දෙය
පිලිබඳ වගක් නොවු මද්දු නිදි පැදුරෙන් නැඟිට පැන්නේ ලොකු අක්කගේ කෑ ගැසීමටය.
මද්දුට කිසිවක් තේරුම් ගත නොහැකි විය.මද්දුගේ මව මැටි පොළොව බඳා එහි වැතිර උන්නාය.
කුප්පි ලාම්පු එලිය මඳක් අඩු වී තිබූ නමුත් මැටි පොළව තෙත් කරමින් ගලා යන රතු
පැහැති රුධිරය මද්දුට දිස් විය. කකුල් පන නැතිව ඇඳී වැටුනු මද්දු
කුප්පි ලාම්පු එලියෙන් දිලිසෙන තාත්තගේ සුදු පාට මැටි පිඟානේ කෑලි තැනින් තැන
විසිරී ඇති ආකාරය දෙස බලා හයියෙන් අඬා කෑ
ගැසීමට අවැසි වුවත් උගුරේ කුමක්දෝ යමක් සිර වී තිබීම නිසා ඇගේ නෙතින් කඳුළු බිදු
ඇඳ වැටී මැටි පොළව තෙත් කරන්නට විය.මද්දුගේ තාත්තා වෙරිමර ගාතේ මද්දුගේ මව ලඟ හිඳ..
නැගිටපන් ලතා.. නැඟිටපන්කෝ.. කියමින් ඔලුවේ අත ගසා ගත්තේය..
මව වටේට කෑ ගසමින් කට්ටිය වටවන බව මද්දුගේ නිලංකාරව යන දෑසින් යන්තමට පෙනුනු අතර
මැටි පොළව මත දැල්ව තිබූ ලාම්පු එළියද කෙමෙන් නිවී ගියේය.
♡♡ශෂී♡♡✍