Total Pageviews

Saturday, January 22, 2022

ළඳුනේ... ළඳුනේ...

 



ළඳුනේ... ළඳුනේ...

ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ

දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ

නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ..

 

තෙල් මල් ගෙන දෝත පුරාමුනිකුටියට පියමං වන

ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන

ඔබ ද පටාචාරාවකී ඔබ ද කිසාගෝතමියකි

 

පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ළඳුනේ..

අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ..

ළැම පමණක් ලොවට පෙනෙන

ළය නොපෙනෙන ළඳුනේ...

කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...


පද රචනය :නීතිඥ රංබණ්ඩා සෙනෙවිරත්න

ගායනය : අමරසිරි පීරිස්

සංගීතය :ප්‍රේමසිරි කේමදාසයන් 


සමාජයේ සියලු දෙනා කතා කිරීමට අකමැති, පිළිකුල් කරන කාන්තා චරිතයක සැබෑ ස්වභාවය රංබණ්ඩා සෙනෙවිරත්න මහතා විසින් මෙම පද්‍ය පෙළට අන්තර්ගත කොට ඒ පිළිබඳ සාකච්ජාවට භාජනය කරයි. අප සමාජයේ ජීවත් වන ඕනෑම පුද්ගලයකු දෙස බාහිරින් බලා විමසා ඔහු හෝ ඇය පිළිබඳ කරුණු විනිශ්චය කළද සැබවින්ම ගතහොත් ඔවුන්ගේ ජීවිත කතාව වෙනස් විය හැකිය. සානුකම්පිත විය හැකිය. මෙම පද්‍ය පන්තියේ සඳහන් වන කාන්තාව සාමාන්‍ය කාන්තාවක් නොවේ. ඇය පොදුවේ නොසලකාහරින ගණිකාවකි. බාහිරින් මිනිසුන් ඇය පිළිබඳ විනිශ්චය කොට වැරදි පැටවුවද සැබවින්ම ඇයව යමෙකුට තේරුම්ගත හැකිනම් ඇයගේ යථාර්තය තේරුම්ගත හැකිවනු ඇත. 

පිරිමින්  දහසක් දෙන ඇයගේ අත ගත්තද ඇයට ස්ථිර සැමියෙකු නැත. සැමියකුගෙන් රැකවරණයක් ඇයට නැත. ඇයට සහෝදරයෙක්, සහෝදරියක්,නෑයෙක්, හිතමිතුරෙක් නැත. සිටියද ඔවුන් මැය ඔවුන්ගේ නෑයෙකු ලෙස පැවසීම පිළිකුල් කරයි. කිසිදු හව් හරණක්,ආදරයක්,සෙනෙහසක්,රැකවරණයක් නොමැති ඇය ජීවිතයට මුහුණ දෙයි. ඇයට ඇගේ නමින් කවුරුන් හෝ සිටියානම් ඇයට මෙසේ වීදී වල සැරිසැරීමට සිදු නොවේ. ඇය මේ සමාජ තත්වයට ඇද වැටෙන්නට ඇත්තේ යම් පුද්ගලයකුගේ ක්‍රියාකලාපයක් නිසා වීමට පුළුවන. සමාජයේ මිනිසුන් විසින් ඇයට ගැරහුම්, අවනම්බු කළද ඇයව පිළිකුල් කළද ඇය සවසට මේ සියල්ලෙන්ම සමාව අයැද සිතට සහනයක් ලබා ගැනිමට තෙල්,මල්,රැගෙන ඇය නුවර මාළිගාවට පිවිස දළඳා සමිදුන් වැඳ පුඳා ගනී. සමාජයේ සියලු දෙනා ඇයව පිලිකුල් කළද , ඇය වරදකාරියක ලෙස හංවඩු ගැසුවද ඇයට මෙලොව ඇති එකම පිිහිට බුදුන් සරණ යාමයි.  ඇයට සැබෑ අස්වැසිල්ලක්, සිතට සහනයක් ලැබෙන්නේ මේ තුළිනි. 

ජීවිතයේ යම් කලකිරීමක්, වැරැද්දක් නිසා ඔවුන් ඒ තත්වයට වැටුණද ඔවුන්ද සාමාන්‍ය මිනිසුන් මෙන් හැඟීම් දැනීම් දැනෙන, විඳින මිනිසුන්ය. ඔවුන්ගේ එක් ක්‍රියාවක් දැක ඔවුන් පිළිබඳ විනිශ්චයක් ලබා දීම නොව අප කළ යුත්තේ ඔවුන්ගේ සැබෑ තත්වය, භූමිකාවන් තේරුම් ගැනීමට උත්සහ කිරිමයි. ඇය ලෝකයාට වරදිකාරියක වී ඇත්තේ ඇයිද? පිරිමින්ගේ දෝස කඳට යටත් වන ඇයව වරදිකාරියක ලෙස හංවඩු ගසන්නේද ඇයගෙන්ම කම්සැප විඳින පිරිමින් විසිනි. ලෝකයාට  රහසේ වැරදි කරන මිනිසුන් සමාජ ඉදිරියේ වෙස්මුහුණු පැළඳ නිවරදිකරුවන් වන අතර, කුහුඹුවකුටවත් වරදක් නොකරන මේ ස්ත්‍රියට වැරදිකාරියක ලෙස නම් තබයි. ඇයගේ ළැම ලෝකයට පෙනුනද කිසිවකුට ඇයගේ ළය නොපෙනේ. දෙනෝදහක් දෙන ඇයගේ අත ගෙන ඔවුන්ට අවැසි පහස ලැබුවද ඔවුන් දකින්නේ ඇයගේ ළැම  පමණකි. ලෝකයා ඉදිරියේ අසරණව සිටින ඇයට අන් පිළිසරණක් නොමැතිකම නිසා ඇය වේදනාවන් තුරුල් කරගනිමින් ලෝකයා ඉදිරියේ මෙසේ හෑල්ලුවට ලක්වෙයි. සමාජයේ අප තවත් පුද්ගලයෙකුට ඇඟිල්ල දිගු කිරීමට පෙර අප ඔවුන්ගේ සැබෑ යථා ස්වභාවය තේරුම් ගැනීමට උත්සහ දැරිය යුතුය.


                                                        ♡♡ශෂී♡♡✍ 

2 comments:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...