Total Pageviews

Saturday, January 22, 2022

අලංකාරවාදී සාහිත්‍ය විචාරය.

 


අලංකාරවාදී සාහිත්‍ය විචාරය නමැති සංකල්පය සමාජය හමුවේ යථාර්ථයක් බවට පත් වන්නේ විවිධ ප‍්‍රවණතා සංවර්ධන වීමත් සමඟය. විශ්ව සාහිත්‍ය විචාර වාද අධ්‍යයනය කිරීමේදී ‘විචාරය’ යන පදය ක‍්‍රි. පූ යුගය දක්වා දිව යයි. එය කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්,

01).පෙරදිග සාහිත්‍ය විචාරය

02).අපරදිග සාහිත්‍ය විචාරය

 පෙරදිග සාහිත්‍ය විචාරයේ නිජබිම ලෙස අපට අවිවාදයෙන් පිළිගත හැකි වන්නේ භාරතයයි. එහිදී අපට විචාර ග‍්‍රන්‍ථ කිහිපයක් මෙලස දැකගත හැකිය. භරතමුනිගේ - නාට්‍යශාස්ත‍්‍රය, භාමහගේ - කාව්‍යාලංකාරය, දණ්ඩීන්ගේ - කාව්‍යාදර්ශය, විශ්වනාථගේ - සාහිත්‍යදර්පණ, ධනංජයගේ - දශරූපය. එසේම අපරදිග සාහිත්‍ය විචාරයේ කේන්‍ද්‍රස්ථානය ලෙස පිළිගැනෙන්නේ ග‍්‍රීසියයි. මුල් කාලයේදී ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක‍්‍රටීස් යන දාර්ශනිකයන් තුළින් මෙම මතවාද පිළිබඳ සුවිශේෂී ඉඟි පහළ වී ඇත. මෙහිදී අපගේ අවධානය යොමු කරනු ලබන්නේ පෙරදිග සාහිත්‍ය විචාරය කෙරෙහිය. භාරතයේ ඉපැරණිතම ආගමික සාහිත්‍ය මූලාශ‍්‍රයන් ලෙස පිළිගැනෙන වෛදික සාහිත්‍යයේ පටන්ම ක්‍රිස්තු වර්ෂ කාලසීමාවන් ඇරඹීමත් සමඟ සාහිත්‍ය විචාරයේ නවතාවන් ඉස්මතු විය. එහි ප‍්‍රධානතම කාරණය නම්, කාව්‍ය විචාර සංකල්ප ඇති වීමයි. ඒ අතර කවිය යනු කුමක්ද? කාව්‍යයේ ස්වභාවය කෙසේද? කවියා යනු කවුද? කවිය හා අකෘතිය යනු කුමක්ද? කවිය තුළ පැවතිය යුතු ලක්‍ෂණ මොනවාද? යනාදි කරුණු සම්බන්ධයෙන් තර්ක විතර්ක, වාද විවාද ඇති විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සංස්කෘත කාව්‍ය විචාරවාද බිහිවිය. එනම්,

  • §               අලංකාරවාදය
  • §              රසවාදය
  • §              ගුණරීතිවාදය
  • §              ධ්වනිවාදය
  • §              ඖචිත්‍යවාදය
  • §              වක්‍රෝක්තිවාදය
  • §              අනුමිතිවාදය

මෙම විචාරවාද අතුරින් අලංකාරවාදය සංස්කෘත විචාර ධාරාව තුළ වැඩි අවධානයක් දිනාගත් විචාරවාදයකි. ‘‘සංස්කෘත විචාර මතවාද කිහිපයක් බිහිවූ නමුදු, ඒ සියල්ලටම වැඩියෙන් කාව්‍යකරණයෙහි බලපෑවේ අලංකාරවාදය බව පෙනේ’’ ඒ අනුව අපට එළඹිය හැකි පොදු චින්තනය නම් අලංකාරවාදය සෙසු විචාරයන්ට වඩා අත්‍යන්තයෙන් බැඳී ඇති බවයි. ඒ බව සංස්කෘත සාහිත්‍යයේ ගුරු තැන්හිලා ගරු බුහුමන් කරන විදග්ධ පඬිවරුන්ගේ ප‍්‍රකාශ මඟින් විද්‍යමාන වේ. ඒ අනුව කාව්‍ය විචාර සිද්ධාන්ත කෙරෙහි අලංකාරවාදය කෙතරම් තදින් බලපෑවේද යන්න මෙම සාධක මඟින් පසක් වෙයි. එනම්, සංස්කෘත ශස්ත‍්‍රඥයින් බොහෝ දෙනෙක් අලංකාර පක්‍ෂය කෙරෙහි වැඩි අවධානයක් දැක්වීමයි. ‘‘අලංකාරවාදීන් විසින් හුවා දක්වන්නට යෙදුණු යම් යම් කාව්‍යාංග පැරණිම මහා කාව්‍ය රචකයින් වන අශ්වඝෝෂ කාලිදාසාදීන් පවා උපයෝගී කොට ගැනුණු බව පෙනේ.’’ විචාර මාර්ගයක් ඔස්සේ සිදුකර ඇත්තේ යම්කිසි කාව්‍යයක හාත්පස විමසා බලා එහි නියම රසය පාඨකයාට හුවා දැක්වීමයි. ඒ අනුව අලංකාරවාදය මගින් කවියක මූලික අරමුණ වන රස ජනනය කිරීමට අවශ්‍ය අනුශාසනා නොමඳව ලබා දී ඇත. එම අලංකාරවාදී න්‍යාය, ලක්‍ෂණ අනෙකුත් විචාර මාර්ගයන්ගෙන් අලංකාරවාදය කැපී පෙනෙන්නටත්, වැඩි ශාස්ත‍්‍රඥයින්ගේ අවධානය දිනා ගැනීමටත් හේතු සාධක වී ඇත. අලංකාරවාදයේ ප‍්‍රවණතා භරතමුණිගේ නාට්‍යශාස්ත‍්‍රයේ ආදි ස්ථානවල විටින් විට, ටිකෙන් ටික දක්නට ලැබුණද, එහි උච්චතම අවස්ථාව ලෙස දක්නට ලැබෙන්නේ ක්‍රි.ව. හත්වන ශතවර්ෂයයි. එනම්, කාව්‍යාලංකාරය නම් ප‍්‍රථම අලංකාරවාදී කෘතිය රචනා වීමත් සමඟය. ‘‘අලංකාරවාදය අරබයා ලියවුණ සංස්කෘත පොත්පත් අතුරින් අපට ලැබී ඇති පැරණිතම පොත හැටියට සැලකෙන්නේ ‘කාව්‍යාලංකාර’ නම් ග‍්‍රන්‍ථයයි.’’ මෙම කෘතියෙහි කර්තෘ ලෙස පිළිගැනෙන්නේ භාමහ පඬිවරයාය. එම නිසාවෙන් අලංකාරවාදයෙහි පියා ලෙස හඳුන්වනු ලබන්නේද මොහුය.


                                                ♡♡ශෂී♡♡✍ 

1 comment:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...