Total Pageviews

Friday, January 21, 2022

හිම දිය වී හිමාලයේ..

 



ක්‍රි : 

හිම දිය වී හිමාලයේ ...

යමුනා ගඟ නඟයි තරංගා ...

සුදු පෙණ කැටි බලන්න රාධා ...

රා :

සුළඟ හමයි සීතල සාදා ....

සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා ....

ක්‍රි :

සිනා රැලි නඟා උතුරන ...

ඔය හදවත් නීල ජලාශේ ...

පීනන මේ ස්වර්ණ හංසයෝ ....

අකීකරු ද මෙතරම් රාධා ...

රා :

ඉඩ දී දෙන්නට දඬුවම් ....

දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා ....

ක්‍රි :

මල් පෙති පොඩි වී ඉකිලන ...

මේ හෝපලු යහන් තලාවේ ...

සඳ දිය මිණි මෙවුලට වැටිලා ....

දෑස නිලංකාරයි රාධා ...

රා :

ගිලිහී ගිය දෙන් මිණි කැට...

දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා ...


පද රචනය : ධම්මික බණ්ඩාර

ගායනය : අමරසිරි පීරිස් & වසන්තා තිලකාංගනී

සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


රාධා ක්‍රිෂ්ණා යනු ආදරයේ සංකේතයයි. රාධා ක්‍රිෂ්ණාගේ ආදරය හා ඔවුන් දෙදෙනාගේ කාමසම්භෝග අවස්ථාවක් පාදක කොටගනිමින් ධම්මික බණ්ඩාර මහතා විසින් අලංකෘත ලෙස මෙම පද්‍ය මාලාව හුදෙක් සහෘදයන්ගේ රසවින්දනය උදෙසා ගෙනහැර දක්වා ඇත. මෙයට පාදක වී ඇති කතා පුවත ලෙස ධම්මික බණ්ඩාරයන් පවසන්නේ ,

"රාධා හා ක්‍රිෂ්ණා කෙළිදළෙන් යුතුව ආදරයෙන් මුසපත්ව රාගිකව සතුටින් සිටින අතර මොවුන් දෙදෙනා , ඔවුන් දෙදෙනාටම සකස් වූවා වැනි සුන්දර ගොපලු ගමක ජිවත් වෙයි. ක්‍රෂ්ණා අනෙක් ගොපලු කෙල්ලන්ගේ බැල්ලමට හසු වී, ක්‍රිෂ්ණා එයින්ද සතුටක් විඳි අතර මේ බව දැනගත් රාධා ක්‍රිෂ්ණා තමා හැර වෙනත් ගොපලු කෙල්ලන් සමඟ ඇසුරු කරනවා යැ'යි සිතා ක්‍රිෂ්ණාගෙන් දුරස් වෙයි. ටික කාලයක් ගත වූ අතර ක්‍රිෂ්ණාට රාධා නැතිවද, රාධාට ක්‍රිෂ්ණා නැතිවද සිටිය නොහැකි බව ඔවුන් තේරුම් ගනී. ක්‍රිෂ්ණාට තමා රාධා සමඟ ආදරයෙන් කාමසම්භෝගීව හැසිරුණු ඇකාරයද රාධාටද තමා ක්‍රිෂ්නා සමඟ ප්‍රේමයෙන් සිටි ආකාරයද සිහිවෙයි. නමුත් දෙදෙනා වෙන්ව සිටින අතර මේ දෙදෙනාගේ සැබෑ ආදරය වටහා ගත් ගොපලු කාන්තාවන් විසින් ක්‍රිෂ්ණා රාධා නැවත එක් කරයි. මෙහිදී ඉමහත් ප්‍රීතියෙන් හා ප්‍රේමයෙන් යුතුව ක්‍රිෂ්ණා රාධා එදින රාත්‍රිය ගත කළ ආකාරය මෙම කවියට පසුබිම් කොටගෙන ඇත. "

ගීතය ආරම්භයේ ක්‍රිෂ්ණා පවසන්නේ හිමාලයේ හිම දිය වී යමුනා ගඟේ ජල ප්‍රමාණය ඉහළ ගොස් තරංග ආකාරයෙන් රැළි නඟමින්, සුදු පෙණ කැටි නඟමින් ගංඟාව ගලා යන ආකාරය පිළිබඳවය. මෙය තුළින් අරුත් ගැන්වෙන්නේ ක්‍රිෂ්ණා රාධා දෙදෙනාගේ කාමසම්භෝග සිතුවිලි වල ස්වරූපයයි. ක්‍රිෂ්ණා හට පිළිතුරු දෙමින් රාධා පවසන්නේ සීතල සුළං දසත පැතිරෙන බව හා සීතල ගිනි ගනීද යන ප්‍රශ්නය ක්‍රිෂ්ණාගෙන් විමසා සිටී. මෙයින් අරුත් ගැන්වෙන්නේ සිතල නිසා ඇතිවන ගිනි දෙකකි. එනම් මීදුම හා කාමයයි. මෙහිදී රාධා කාමය පිළිබඳ, කාමයේ ස්වරූපය පිළිබඳ පවසයි. පසුව ක්‍රිෂ්ණා පවසා සිටින්නේ රාධාගේ සිනා රැළි නඟා උතුරන හදවත් ජලාශේ වෙසෙන ස්වර්ණහංසයන් අකීකරු බවයි. රාධාගේ ළමැදේ පියයුරු හඳුන්වා ඇත්තේ ස්වර්සහංසයන්ට සමාන කරමිනි. ප්‍රේමයෙන් හා රාගයෙන් වෙළී සිටින ක්‍රිෂ්ණා පවසන්නේ රාධාගේ පියයුරු අකීකරු බවයි. රාධා ඊට ප්‍රතිචාර දක්වන්නේ ස්වර්ණහංසයින් අකීකරු නම් ක්‍රිෂ්ණාට කැමති දඬුවමක් දෙන්නට ඉඩහැර තමා දෑස පියාගෙන සිටින බවයි. 

ක්‍රිෂ්ණා රාධා යමුනා ගං තීරය අසබඬ සිහිල් සුළං පහස විඳිමින් ඔවුන්ට රිසි සේ ප්‍රේමයෙන් මුසපත්ව සිටී. ඒ සඳහා අවශ්‍ය ලෙස පරිසරයද හැඩගැසී ඇති බව මෙම කවිය තුලින් කෙරෙන පරිසර වර්ණනා තුළින් අපට ගම්‍යමාන වේ. මොවුන් වැතිර සිටින්නේ යමුනා ගඟ අසබඬ අශෝක මල් යහනාවක් මතය. ක්‍රිෂ්ණා හා රාධාගේ කාමසම්භෝගයේ ස්වරූපය සහෘදයාට ඒත්තු ගන්වන්නේ අශෝක මල් පෙති තැලී පොඩි වී ඉකි ගසනා බව කියැවෙන පද්‍ය තුළිනි. ඔවුන්ගේ මේ සුන්දර රාත්‍රිෙය් චන්ද්‍රයාද සුන්දර ලෙස අහසේ බැබළෙමින් දිස් වෙයි. චන්ද්‍රයාගේ ආලෝකය රාධාගේ ඉනෙහි බැඳි මිණි මෙවුල මත පතිත වී ක්‍රිෂ්ණාගේ දෑස් නිලංකාර වන බව පවසයි. ක්‍රිෂ්ණාගේ දෑස් යොමුව ඇත්තේ කුමකටද යන්න  සඳ එළිය සමඟ මුසු කරමින් කවියා මෙහිදී ව්‍යංගයෙන්  පවසයි.එහි සුන්දරත්වය විඳීමට මිණි මෙවුල තමාට බාධාවක් වී ඇති බව ක්‍රිෂ්ණා පවසයි. මිණි මෙවුලෙහි මිණි කැට ගිලිහී ගියමුත් ක්‍රිෂ්ණාට රිසි සේ හැසීරීමට තමා ඉඩ හරින බව පවසමින් රාධා ක්‍රිෂ්ණාට  ඒ සඳහා අවසරය ලබා දෙයි. 

ක්‍රිෂ්ණා රාධාගේ නැවත එක් වීමේ මේ ශෘංගාරාත්මක රාත්‍රිය පරිසර වර්ණනාවන් පාදක කොට ගනිමින් අලංකාර  ලෙස සංයමයෙන් යුතුව මෙම පද්‍ය නිර්මාණය කර ඇත. ඔවුන්ගේ  එක් වීමට පරිසරයේද ආශිර්වාදය ලැබේ. ක්‍රිෂ්ණා රාධාගේ ශෘංගාරාත්මක තිඹිරිගෙය ඉතා රමණීය ලෙස එකිනෙක මුසු කරමින් ලියවුණු රසවින්දනාත්මක පද්‍ය පෙළක් ලෙස අපට මෙය හඳුනාගත හැකිය. 


                                                    ♡♡ශෂී♡♡✍ 

1 comment:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...