Total Pageviews

Saturday, February 5, 2022

තුති පිදුම


*..සිංහල ගුරුතුමා..*                   💖 

                                      

සැබෑ ගුරු සිසු ප්‍රේමය

අවුලුවාලමින්

උදා වූවා දිනක් 

වෙන්වීමට

හඳුනාගත් නමුත්

ඩිජිටල් තිරය මතින්

කියාදුනි අපට

ජීවිතයේ පාඩම

ගත වුනේ 

කෙටි කාලයකි

ශක්තිමත් විය

ගුරු සිසු බැඳීම

 කාලය එළඹ ඇත

සමු දීමට 

ගුරුපියාණනි ඔබට

හැකි වුවොත්  පැමිණෙන්නට

විගස සරසවියට

වඳිනෙමි ඔබේ දෙපා පිරිමැඳ

හමුවේ යැයි සිතමි 

යළි දිනෙක

පුද කරන්නට තුති

පෙරටු කොටගෙන 

ගුරු ගෞරවය

පතනෙමි ගුරුපියාණෙනි 

තෙරුවන් සරණ ඔබට.


                                                               ♡♡ශෂී♡♡✍


Saturday, January 29, 2022

හැඳිනෙමි ප්‍රේමය..


                                                                                 ❤


වාහනයේ ඉදිරියේ සැප පහසුවට හිඳ උන් සිරිසේන මා දෙස බැලුවේ යමක් කීමට විය යුතුය.. මඳක් බලා හිඳ ඔහු කටහඬ අවදි කළේය..

පුංචි මහත්තයා දැක්කම ලොකු නෝනට අදහගන්න බැරිවෙයි... ඇයි යකඩෝ අවුරුදු පහ හයක් ගත වුනාට මේ අදක ඊයේක වගේ මට මතකයි පුංචි මහත්තයා අපේ එකා එක්ක ඒ දවස් වල නටපු නැටිල්ල.

සිරිසේන මේ ආකාරයෙන් කියවන්නේ මා ඉදිරිපිට පමණි. අප්පච්චී හෝ අම්මා ඉදිරියේ ඔහු සිටින්නේ ගොළුවකු ලෙසින. පීදුණු කහවක් ගොයම සිඹගෙන එන සුළං රැළි  එදා මතකය අවදි කරමින් මා වැළඳගන්නේ පෙර සේ නියර මත දුවමින් නටන්නට කෙරෙන ආරාධනයක් මෙනි.අඩිපාර දිගේ විටෙක අප පසුකර යන්නන් ආපසු හැරී බලන්නේ මා අඳුරගත් නිසා විය යුතුය. අපොස උසස්පෙළ දක්වා  ගමේ පාසලෙන් ඉගෙන ගත් මා උසස් අධ්‍යාපනය සඳහා බලකර  පිටරට යැවීමට බලවත් වුවමනාවක් තිබුණේ අප්පච්චීටය. උපාධිය අවසන් කර මා අද ගමට පැමිණෙන්නේ අවුරුදු පහකට පසුවය. විඩාබර පීඩාකාරී ජීවිතයට මඳක් සමු දී නැවත ගමට පැමිණීමට මඟබලා සිටියේ මීට මසකට පෙර සිටය. හිසමත තිබූ මහ බරක් බිමින් තැබුවා මෙන් සහනයක් මේ හුරුපුරුදු පරිසරය දැකීමෙන් මා තුළ ඇති වේ.

මා පැමිණෙන තෙක් මඟ බලා සිටි අම්මාගේ දෑස් වල සතුටු කඳුළු පිරෙනු දුටු මා සිතද සසලව ගියේ අවුරුදු ගණනකට පෙර ඔවුන්ගේ මුහුණු දැකීමෙනි. ගමන් විඩාවෙන් හෙම්බත්ව සිටි මා කෑමද ප්‍රතික්ෂේප කොට මඳක් ඇල වුනෙමි. යළි මා අවදි වනවිට සවස හයද පසු වී තිබුණි. පස් කණ්ඩිය දිගේ පහළට ඇඳුණු මා මඳක් අවට පරිසරය දෙස බලා සිට බාල්දියෙන් වතුර ඇඳ නා ගන්නට විය.

ආ පුංචි මහත්තයා නාන්න ඇවිත් වගේ..

මඳක් ගැස්සුණු මා හැරී බැලුවේ කවුරුන්දැයි සිතා ගැනීමට නොහැකිවය.

නිමල්...

අඳුරගත්තා එහෙනම්..

නිමල් ගොඩක් වෙනස් වෙලා..

මා පෙර ගම හැමතැන කරක් ගැසූ මගේ ජීවිතය බෙදාගත් මා හොඳින් හඳුනන ඔහු නිමල්ය. ඒ දවස් වල පැවති කැරලි ගැසුණු කොණ්ඩය ඒ ආකාරයෙන්ම පිහිටා තිබුණු ඔහු සිරුරෙන් කේඩෑරීව ගොස්ය.

කොහොමද පුංචි මහත්තයා.. දැනගත්ත වෙලේම මං ආවා..ලොකු නෝනා කිව්වා  හොඳටෝම නිදි කියලා.. පුංචි මහත්තයනම් තවත් ලස්සන වෙලා..

අනේ නිකන් ඉන්න නිමල්.. දැන් මොකද කරන්නේ නිමල්..

ගස්වල පොල් තියෙනකම් මට හොඳයි පුංචි මහත්තයා..

කියමින් ඔහු සිනාසුනේය.

නිමල් පිළිබඳ දුකක් මා තුල ඇති විය. එදත් ඔහු අපමණ දුක් විඳි බව මා හොඳාකාරව දනී. දුප්පත්කම කෙනෙකු කෙතරම් අසරණ කරනවාද යන්න එදා සිට නිමල් සමඟ සිටීමෙන් මා දනී.

මේ ටික කාලේට ගම හොඳටෝම වෙනස් වෙලා නිමල්..

ගමත් වෙනස් වෙලා අපේ ජීවිතත් වෙනස් වෙලා පුංචි මහත්තයා..

යමුකෝ ගෙට..

ආ ගිය තොරතුරු නිමල් සමඟ කතා කරමින් බොහෝ වෙලාවක් හිඳ මා රාත්‍රී ආහාරයද ඔහු සමඟම ගත්තෙමි.

නිමල් පිට විමෙන් පසු මා අප්පච්චී අසලට ගොස් වාඩි විය. 

ඇත්තද අප්පච්චී නිමල්ට දැන් දුවෙකුත් ඉන්නවා කියන්නේ.. 

ඉන්නවා පුතා.. මොනා නැතත් කෙළි පොඩ්ඩනම් සිරියාවන්තයි.

අප්පච්චී මේ පාර කුඔුරු වැඩ කරේ නැද්ද..

නෑ.. ඒක අප්පුහාමි අඳේට කොරනවා ඔන්න..

ආ.. ඒක හොඳයි..  අප්පච්චිටත් ඔය ඔක්කොම කරන්න බෑනේ..

ටික වෙලාවක් මා ඔවුන් සමඟ කතාබස් කොට ඇඟේ තිබූ විඩාව පහව ගොස් නොතිබූ නිසා යළිත් නිදා ගන්නට සැරසුනෙමි. නින්දට වැටුණු මා  උදෑසන අවදිව සීතල මීදුම්පට අතරින් වෙල්යායේ නියර මත ඇවිද්දේ හිතේ පැවති අමුතු උද්යෝගයකිනි. උල්පත වෙත පැමිණි මා මුහුණ මඳක් තෙත් කොට පස් කණ්ඩිය දිගේ ගොඩවන්නට විය.

පුතා.. මේ හීතලේ කොහේ ගියාද..

මං ටිකක් වෙල පැත්තට ගියා..

කුසුමේ.. ඔය තේ එක අරන් වරෙන් පුංචි මහත්තයට..

පුතා අහල පහලිය වැඩිය ඉන්ට එපා.. ගමේ එවුන් ඇස් හතරෙන්  බලන් වුන්නේ..

අම්මානම් වෙනස් වී නොමැත. ඇය රූපයෙන් වෙනස් වී ඇති නමුත් සිතන පතන දේවල් පෙර සේමය..එකවරම මා ගල් ගැසී ගියේ ඒ රුව අවුරුදු පහකට පෙර ලෙසම මා ඉදිරියට එනු දැකීමෙන්ය.  කොන්ඩ කරලක් ගොතා මල් ගවුමට උඩින් චීත්තය හැඳ එක් අතකින් තේ කෝප්පයද රැගෙන අනෙක් අතින් නළලද පිසිමින් ඇය මා වෙතට පැමිණෙයි. මා දැකීමෙන් ඇයද පුදුමව ගිය අතර දෙදෙනාම ඇසි පිල්ලම් නොගසා බලා සිටියේ මෙය විශ්වාස කිරීමට තරමක් අපහසු වූ හෙයිනි. මා උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්නා විට සිතේ ආදරයක් ඇති වුනානම් ඇති වුනේ මැය ගැනය. ගොළුව තිබූ මගේ හැඟීම් යටපත් කරගත්තේ අප දෙදෙනාගේ පවුල් පරිසරය නිසාය..මට සිතාගත නොහැක්කේ ඇය මෙහි කුමක් කරන්නෙහිද යන්නයි. සිත තුළ වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීමට තදබල ලෙස අවැසි විය.

කුසුමේ.. උබට මොකද වෙලා තියෙන්නේ.. ඕක දීපන්  පුංචි මහත්තයට

අම්මාගේ කටහඬත් සමඟ ඇයද මාද ගැස්සී පියවි සිහියට එළඹිණි. ඇය තේ කෝප්පය මා අත තබා යළිත් කුස්සිය දෙසට පිය නැඟුවාය. මා තුළ වු කුතුහලය නිසා මා අම්මාගෙන් නොදන්නා ලෙසට ඇය ගැන තොරතුරු විමසුවෙමි..

කවුද අම්මා ඒ..

අර කරුණාවතීගේ කෙල්ල..ඒකිගේ මහ එකී ගිය අවුරුද්දේ මළේ..මේකිට යන්න එන්න තැනක් නැති හින්දා අප්පච්චී වැඩට එක්කගත්තේ ඔය.

මා බලාපොරොත්තු වූ දෙයට අම්මාගෙන් මාහට පිළිතුරු ලැබිණි. සමවයසේ පසුවන ඇය හා මා උසස්පෙළ දක්වා ඉගෙන ගත්තේ එකටය. පන්තියේ ඉගෙන ගැනීමට දක්ෂ වූ කුසුම් අනෙක් තරුණියන්ට වඩා තැන්පත් ගති පැවතුම් ඇති අයෙකි.  ඇය සමඟ කතා  කිරීමේ බලවත් ආශාවක් මා තුළ විය. එයට අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණින් මා ඇය වෙත ලං වුවද අම්මා ඒ සඳහා බාධා විය. මා පෙර සේම ආශා කළේ ඇගේ අහිංසක කෙළින් නොබලන ඇස් දෙකටය. ඇගේ එම සංවරකමට අහිංසකකමට මා ප්‍රිය කළාය.

දින සති ගණන් මේ ආකාරයෙන් ගෙවුණ අතර මා උදෑසන අවදි වන්නේ කුසුම් දැක ගැනීමේ සිත් ඇතිවය.. කිසිදු කළබලයක් නැතිව වැඩ කරන ඈ නිතරම අම්මාගෙන් බැනුම් අසයි.. ඇය එසේ වහළියක සේ වැඩ කරනු දැකීමට මා අකමැති වූයෙමි. දිනක් මා නිමල් හමු වීමට ගොස් නැවත පැමිණෙන විට කුසුම් එක් අතකින් කොස්ස අල්ලාගෙන අනෙක් අතෙන්  මේසය මත  තිබූ නවතකා පොත ගෙන කියවමින් සිටියාය. මා ටික වෙලාවක් බලා හුන්නෙමි.

කුසුම් ඔය පොත අරන් ගිහින් කියවන්න..

මගේ කටහඬින් බියට පත් වූ ඇය අත තිබූ පොත බිමට වැටුනි..

නෑ..නෑ.. මං මේ නිකන් බැලුවේ පුංචි මහත්තයා..

කුස්සියේ සිට අම්මා ඇය අමතනු ඇසීමත් සමඟ බියට පත් වූ ඇය මා අසළින් මගේ දෑස් දෙස එක එල්ලේ බලා හිඳ පිටව ගියාය.. ඇය මා දෙස බැලු එම බැල්ම මා අසරණ කළෙමි.ඇගේ කෙහෙරැල් මගේ මුහුණේ වැදී යත්ම ඇයට යාමට නොදී අල්ලා ගැනීමේ හැඟීමක් මා තුළ ඇති වූ නමුත් මා එය යටපත් කරගතිමි. අවුරුදු පහකට පෙර මා තුළ පැවති ප්‍රේමය යළිත් අවුලුවාලමින් දිනෙන් දින කුසුම් පිළිබඳ වූ ආදරණීය හැඟීම යළිත් වැඩෙන්නට විය.

ඇය සමඟ කතා කිරිමේ  මා තුළ වූ  බලවත් ආශාව නිසාම දිනක් මා ඇය පසුපස ඇගේ නිවසට ගියේය.. මඳ දුරක් ගොස් නිවසට ළං වෙත්ම මා ඇය ඇමතුවෙමි.

කුසුම්..කුසුම්....

පුංචි මහතතයා.. මේ මොකද මේ...

මට කුසුම් එක්ක ටිකක් කතා කරන්න ඕනේ..

ඒ මොනාද..

ඇයි කුසුම්ට මාත් එක්ක කතා කරන්න මුකුත් නැද්ද?

ම්ම්ම්ම්ම්...

මොකද්ද කුසුම් ඔයාලට වුනේ..

ඒවා කියලා වැඩක් නෑ පුංචි මහත්තයා..මේ මගේ කාලකණ්නිකම තමා ගමේ හැමෝම කියනවා වගේ..

මට දැනගන්න ඕනේ මොකද වුනේ කියලා..

පුංචි මහත්තයා මෙහේ ඉන්නවා කවුරුහරි දැක්කොත් ලොකු ප්‍රශ්නයක් වෙයි..

මා අසළ තිබූ බංකුවට හේත්තු විය.

කුසුම් කියන්නකෝ මට.. ඔයා අයේ ඉගෙන ගත්තේ නැද්ද

දෑස් දෙකේ කඳුළු පුරවාගනිමින් මා ගිය දා පටන් ඇයට සිදු වූ සියල්ල කියා සිටියේ හඬමින් පුංචි එකියක සේය..

මඳක් නිහඬව සිටි මා කටහඬ අවදි කළේය.

කුසුම් කැමති නැද්ද මාත් එක්ක එන්න..

මොනාද පුංචි මහත්තයා මේ කියන්නේ..

මං කිව්වේ ඇත්ත.. මීට අවුරුදු පහකට කලින් කියන්න තිබ්බ දෙයක්.. දැන් ඒකට හොඳම වෙලාව කියලා හිතුනා.

අහසයි පොළවයි යා වෙන්නෑ කියලා මහත්තයා හොඳටෝම දන්නවනේ..මං වැටිලා ඉන්න තැනත් නැති කරන්නද හදනනේ පුංචි මහත්තයා ..

ඇය නැවතත් ඇස් වල කඳුළු පුරවාගනිමින් හඬන්නට විය.

කුසුම් මාත් එක්ක එනවනම් මං හැමදෙයක්ම බලාගන්නම්..මට කියන්න ඕනි වුන දේ මං කිව්වා..කුසුම් කැමති තීරණයක් ගන්න.. මං බලන් ඉන්නවා..

පැවසීමට තිබූ සියල්ල පවසා හිත නිදහස් කරගත් මා නැවත ගෙදර එන්නට පිටත් විය.පැමිනි වේලේ පටන් මා කල්පනා කළේ කුසුම් ගැනය. මා එය පැවසීමට හදිස්සි වූවා වැඩිද? ඇය කෙසේ මා පිළිගනීද? යනුවෙන් ප්‍රශ්න ගොඩක් මා මගෙන්ම විමසුවෙමි. නොදැනීම නින්දට වැටුණු මා උදෑසන  අවදිව ජනේලයට වාරු දී ඈත වෙල්යාය දෙස බලා හුන්නෙමි..

පුංචි මහත්තයා.. තේ එක ගෙනාවා..

මා සිත ප්‍රබෝධමත් කරමින් කුසුම්ගේ කටහඬ ඇසුණි.ඇය තේ කෝප්පය මේසය මත තබමින් යන්නට හැරුනාය.. වෙනදා නොමැති පිළිවෙළක් ඇගේ ඇඳුමෙහිද පීරා ඇති කොණ්ඩයෙහිද මා දුටුවෙමි. මා පැවසූ දෙය කුසුම් පිළිගත්තා විය යුතුය. සිතේ උපන් මහත් ප්‍රීතිය නිසාම මා ඇගේ අතකින් අල්ලා ගත්තේය..

කුසුම් ටිකක් ඉන්න.. මාත් එක්ක තරහද..

නෑ පුංචි මහත්තයා..

බාල්දු සිහින් කටහඬින් ඈ පැවසුවාය.

මා වෙතට ළං කරගත් ඈ.. බිමට පාත්ව තිබූ මුහුණ මා වෙතට හරවා ඇගේ නිකටින්  අල්ලා ගතිමි.

කුසුම්.. කැමතිද මාත් එක්ක එන්න..

මට බයයි පුංචි මහත්තයා..ලොකු නෝනා කතා කරයි.. මං යන්න ඕනි දැන්..

මා වෙතින් මිදුනු ඈ කුස්සිය වෙතට දිව ගියාය..

මගේ සිතේ ජයග්‍රාහී සතුටක් ඇති විය. කුසුම් පිළිබඳ මා තුළ වූ ඒ ආදරණීය හැඟීම දිනෙන් දින වැඩෙන්නට විය. ඇය මෙසේ අසරණව සිටිනු දැකීම මා තුළ ඇය කෙරෙහි වූ අනුකම්පාව තවත් තර කළේය. මා දවසේ වැඩි කාලයක් ඈ අසලව සිටීමට ආශා කළෙමි. ඇයව ඈතින් හෝ හිඳ බලා සිටින්නට ආශා කළෙමි. මා ඈතින් සිට කුසුම් දෙස බලා සිටිනු ඈ දුටුවිට ඇය කෙරෙන් මතු වූ එම ලැජ්ජාශීලී හැසීරීම මා බලා සිටියේ මහත් ආශාවෙනි.

එකවරම ගෙය තුළින් ඇති වූ  බිඳෙන හඬට මා සවන් දුන්නෙමි.

උබට මොකද්ද මේ හැදිලා තියෙන ගාය.. මං දැන් දවසක් දෙකක් බලා උන්නේ..උබ දැන් ඕනෙවට වඩා වැඩී.. පලයං ගිහින් කොස්ස  අරං අතු ගාපන්..

අම්මා මේ කෑ ගසන්නේ ඇයිදැයි මා හිඳ උන් තැනින් නැඟිට ගොස් බලන්නට වූයෙමි. හොඳි භාජනයක් සාලය පුරා විසිරී ගොස්ය..

ඇයි අම්මා මේ බෙරිහන් දෙන්නේ..

බලන්න  පුතා.. දවල්ට හදාපු කරෝල හොද්ද මේකි මගේ ඇඟේ හැප්පුනානේ.. මෙලෝ සිහියක් නෑ මේකිට.. මේ වගේ උන් වැඩට ගන්න අපේ මහත්තයටත් රුදාවනේ..

කුසුම්ගේ දෑස් දෙකෙන් කඳුළු රූරා වැටෙයි. අම්මගේ බැනිල්ලෙහි අවසානයක් නැත.

ඕකට ඔච්චර කෑ ගහන්න ඕනේද ..ඇති දැන්..

මා එසේ පවසනවාත් සමඟම කුසුම් හැරී දිව ගියාය.ඇය දුප්පත්ව ඉපදුනාට මෙසේ අවමන් විඳීමට සුදුසු කෙල්ලක නොව.

අම්මාගේ මුහුණද අඳුරුව ගිය අතර මා සැණෙකින් එතනින් ඉවත්ව කුසුම් කොහෙදැයි විපරම් කළෙමි. ගෙදර කොහිවත් කුසුම්ව සොයාගත නොහැකි විය. අම්මාට මා ගැන හා කුසුම් ගැන සැකයක් ඇති වී ඇත්දැයි මට සිතේ. එය තහවුරු වුයේ රාත්‍රියේ අම්මා අප්පච්චී සමඟ කළ කතාබහ මගේ කන වැකීමෙන්ය. පසුවදා අලුයම මා අවදි වූයේ පෙරදින රාත්‍රියේ හරිහැටි නින්දක් නොලැබ කල්පනා කළ දෑ ක්‍රියාවට නැඟීමේ අරමුණින්ය.. මා පිටුපස පස් කණ්ඩිය දිගේ පහළට ඇඳුනේ කුසුම් මුණ ගැසීමේ අරමුණින්ය... කුසුම්ගේ පුංචි පැල්පතේ දොර තවමත් වසාය. මා දොරට තට්ටු කරමින් ඇය ඇමතුවාය..

කුසුම්.. කුසුම්..

කිසිදු ප්‍රතිචාරයක් නොවීය.. මා නැවතත් එලෙසම හඬනඟා කතා කළද කිසිදු හැලහොල්මක් නැත.. මා දොර අසලට ගොස් එය ඇරීමට උත්සහ කළෙමි.. එයට අඟුලු දමාය.. මට කිසිවක් සිතා ගැනීමට නොහැකි විය. මා ආපසු හැරී ආවේ දෙලොවක අතරමං වීය.. නිවසට පැමිණ මා මඟ බලා සිටියේ කුසුම් නැවත මොනයම්ම මොහොතක හෝ පැමිණේවී යන බලාපොරොත්තුවෙනි.. දවස තිස්සේම මඟ බලා සිටියද ඇය පැමිණියේ නැත. මා ඉවසා බැරිම තැන අම්මගෙන් ඒ ගැන විමසුවෙමි.

අම්මා.. කුසුම් අද වැඩට ආවේ නැද්ද?

ම්ම්ම්ම්ම්ම් .. ඒකි ඔය හතර දිබ්බාගේ ඇවිදිනවා ඇති....

යනුවෙන් පවසා ඇය මා මඟ හැරියාය.. මේ දින කිහිපයට මැවූ සිහින මා ඉදිරියේ කඩා වැටී යනු මට හැඟිණි.. ඇය මා මඟහරිනවාද යනුවෙන් මා මගෙන්ම විමසුවෙමි. දින කිහිපයක් මෙසේ ගත වුවද කුසුම් පැමිණියේ නැත. මා නිමල් හමු වීමට ගිය අතර මා තුළ කුසුම් පිළිබඳ වූ හැඟීම මා මීට පෙර නිමල් හමු වූ අවස්ථා වලදී පවසා තිබුණි.. මා ඔහුගෙන්ද කුසුම් ගැන තොරතුරක් විමසා සිටිය මුත් ඔහුද ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව මාහට හැඟී ගියේ මෙය ඇසීමෙන් ඔහුද තරමක පුදුමයට පත් වීමෙන්ය..ඇය සොයා යාමට තැනක් කිරීමට කිසිවක් සිතා ගත නොහැකිව මා දවස මුළුල්ලේ කල්පනා කරමින් සිටියෙමි. දෙවන වරද මා ප්‍රේමයෙන් පරාද වී ඇත. දින කිහිපයකට පසුව අප්පච්චී මා ඇමතුවේය..

පුතා.. මට ටිකක් කතා කරන්න ඕනේ..

ඔව් අප්පච්චි..

දැන් ඔහොම හිටියා මදැයි.. නැන්දා හොඳ ළමයෙක් බලලා ඉන්නවා පුතාට.. දවසක් දාගෙන එන්න කියලා පණිවිඩයක් එවලා තියෙනවා..

මාගේ ජීවිතය තීරණය කරනු ලබන්නේ අප්පච්චීය.. පැවසීමට කිසිවක් නොවූ හෙයින් මා කරබාගෙනම කාමරයට වැදුණි. ගමෙන් ආපසු යාමට කාලය එළඹ ඇතැයි මට සිතේ.. කුසුම් පිළිබඳ ආරංචියක් නොදැනීම හිතට පීඩා ලබා දෙන්නක් විය.. දින සති මාස ගණනින් ගෙවී ගිය අතර අප්පච්චීගේ පොර කිරීම මත දෙතුන් වරක් ඔවුන් සමඟ මඟුල් බැලීමට ගියෙමි.. කුමක් හෝ අඩුපාඩුවක් පෙන්වා මා ඒ සියල්ලක්ම මඟ හැරියෙමි.. සෑම උදෑසනකම අවදි වන්නේ කුසුම්ගේ උණුසුම් තේ කෝප්පය රස විඳීමේ සිත් ඇතිවය.. කුසුම් නැවත පැමිණියේ නැත.. ඇය මා මඟහැරියා විය හැක..ගමට සමු දීමට කාලය එළඹ ඇත.  තුරුලු කරගත් මතකය පමණක් ගමෙන් රැගෙන යාමට මාහට ඉතිරිව ඇත.


                                                 ♡♡ශෂී♡♡✍ 

Monday, January 24, 2022

පින්බරයි ඈ අද නිහඬ බැල්මෙන්.. 🎕


                                                                            🎕

විඩාබර ගතට,

 අවැසි විවේකය

කවදා  කොතැනක,

 හමුවේද අපහට

ඉවසා බලා සිටියෙමි, 

පාටක් නැත හමුවන

දිනක් මුණගැසුණු ඒ රුව,

ජීවිතයේ හැරවුමට 

තුඩු වන බව නොදැන,

ඇසුරු කළා පෙර සේ, 

කල්‍යාණ මිතුරකු ලෙසින

අවබෝධ වූ විගස 

අතහැර දැමුවෙමි සියල්ල,

හැඳ සිටි වස්ත්‍රයක්,

 උනා දැමූ විලස

ලැබුනේ වරමක්, 

දරන්නට කසාවත 

අඳුරෙන් ආලෝකයට,

 තබමින් පියවරක්

සිත දැන් නිදහස් ය

විඩාබර ගතට ලැබී ඇත,

 අවැසි විවෙිකය

සනිටුවහන් කරමින් 

අවසානය

යාමට අවසරයි මෑණියනි,

සියලු දුක් නසන්නට.


                                                           ♡♡ශෂී♡♡✍ 

යථාර්ථවාදී සාහිත්‍ය විචාර න්‍යාය.

 


කලාත්මක හෝ සෙසු සාහිත්‍යමය ශක්‍යතාවන්ගෙන් පරිපූර්ණ වූ දුර්මත හෝ දෝෂ සහිත ආකල්ප වලින් ආවරණය නොවුණ සාහිත්‍යමය සම්ප්‍රදායන්ගෙන් සුන්දරත්වය සහ සෞන්දර්යාත්මක උත්කර්ෂය මතු කරන නිර්මාණාත්මක ආවේශය යථාර්ථවාදය නම් වේ. රොමැන්ටික්වාදය සමඟ ඝට්ටනයට යන යථාර්ථවාදය තුළ ඉස්මතු වූයේ රොමැන්ටික්වාදය සමඟ පවතින ඡීවිතයේ අභ්‍යන්තරික සහ අධ්‍යාත්මික අංශයට එරෙහිව නැඟී සිට සමාඡ සහ ඡීවිත ක්‍රියාකාරකම් භෞතික සමාජ පරිසරයක් තුළ නිරූපණය කිරිම සඳහාය. මෙය සංස්කෘතික ව්‍යාපාරයක් ලෙස ප්‍රංශයේදී මතු විය. රුසියානු සාහිත්‍ය තුළ මොන තරම් ගැඹුරින් යථාර්ථවාදය ඉස්මතු වී ඇත්දැයි තෝල්ස්තෝයි, දොස්තයෙව්ස්කි ගේ කෘතිවල මනාව පිළිබිඹු වේ. මේ රුසියානු ලේඛකයන් සමාඡයේ විනිවිද දකින්නට නිර්මාණ බිහි කර අතර හොරුන්, පාදඩයන්, තක්කඩියන් ලෙස මිනිසුන් වර්ග කිරීමට යුහුසුළු නොවූහ. සාර් පාලනය තුළ පැවති දුෂීත බවද ධනවාදී සමාඡයේ තිරස්චීන බව මතු කිරීමට පමණක් ඔවුන් තම සිහිත්‍ය කෘති යොදා ගත්හ. ඔවුන් යථාර්ථවාදය මතු කොට ගත්තේ එවැනි නිර්මාණ තුළය. තෝල්ස්තෝයිගේ විවේචනාත්මක යථාර්ථවාදය රුසියන් විප්ලවයේ කැඩපත යැයි ලෙනින් හැඳින්විය. නමුත් විවේචනාත්මක යථාර්ථවාදයෙන් ඔබ්බට ගොස් මිනිසුන් දැනුවත් කිරීම සඳහා සමාජවාදී යථාර්ථය විග්‍රහ කිරීමේදී කාල් මාක්ස්, එංගල්ස් නමැති බුද්ධිමතුන් දෙදෙනා ප්‍රධාන තැනක් ගනී. භාෂා කිහිපයක්ම මනා ලෙස දැනගෙන සිටි මාක්ස් ග්‍රීක භාෂාව ඉගෙන ඒ බසින්ම ඊස්කිලස්ගේ නාට්‍ය ගැඹුරින් හැදෑරීය.තමාට දාර්ශනික ලිපි ලිවීම සඳහා එය කියවීම වඩාත් උපකාරි වී යැයි මාක්ස් පැවසුවේය.

 ක්‍රමයෙන් විකාශනය වූ යථාර්ථවාදී සංකල්පය කූටප්‍රාප්ත වූයේ සමාජවාදී යථාර්ථයෙනි. එය ධනවාදී සමාජයක් වෙනස් කිරිම සඳහා ජනතා සිතුම් පැතුම් සමඟ බැඳී සිටින බැවිනි. එස්දහස් නවසිය තිස් ගණන්වල සමාජයට විවෘත වූ සමාජවාදී යථාර්ථවාදී සංකල්පය පිළිබඳ ගෝර්කි දක්වන ලද අදහස් ඉතා අගනේය. ගෝර්කිගේ ගැඹුරු විග්‍රහය සමාජවාදී යථාර්තය පිළිබඳව තේරුම් ගැනිමට මනා රුකුළකි. යථාර්තවාදී රීතීන්හී දී පසුව මතුවන යථාර්ථවාදය, භාෂාව, සාහිත්‍ය කෘති සඳහා පාවිච්චි වන ස්වරූපය පිළිබඳව නව මතවාදයක් මතු කරයි. විශේෂයෙන් භාෂාව යොදා ගැනීමේදී එය දාර්ශනික ප්‍රවණතාවක් ලෙස සැලකීමට නව යථාර්තවාදීන් උත්සහ දැරීය. භාෂාව සිරගෙයක් ලෙස දැක්වූ ඔවුහු ලේඛකයාට සත්‍ය, සත්‍ය වූ ආකාරයෙන් මතු කිරීමට භාෂාව පිහිටාධාරකයක් නොවූ බව පවසති. ඒ අදහස එක්තරා ලෙසකට අභියෝගාත්මකය. මූලික වශයෙන් භාෂාවෙන් වියුක්තව සාහිත්‍ය නිර්මාණ කළ යුතු යැයි සිතා ගැනීම අපහසුය. 


                                               ♡♡ශෂී♡♡✍ 

රජරට ලේඛිකාව




"මගේ අපේක්‍ෂාව නව සමාජ පෙරළියක්….

 ඒ දුෂ්කර හා ආශ්වාදජනක ප‍්‍රයත්නය පිණිස පෑන මෙහෙයවනවා."

-ප‍්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක-


කොළඹින් දුර බැහැර සේනපුර, යාය 04, ගොවි ගෙයක සිට, නව සමාජ පෙරළියක් පිළිබඳව ඇය නිර්මාණාත්මක බලාපොරොත්තු අවුළුවාලන්නීය. එම අපේක්‍ෂාවෙන් යුතුව ලේඛනයෙහි යෙදෙන්නීය. එහි සාර අස්වැන්න ලෙස ඇය විසින් රචනා කරන ලද නවකතා 24 ක් කෙටි කතා සංග‍්‍රහයන් දෙකක් යොවුන් නවකතා ත්‍රිත්වයක් සහ පුවත්පත් කීපයක් පිණිස රචනා කරන ලද තීරු ලිපි සංග‍්‍රහයන් රැසක් පෙන්වාදිය හැක. කතුවරියගේ කෘතීන් ඇසුරින් ටෙලිනාට්‍ය 09 ක් සහ චිත‍්‍රපට දෙකක් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි.

ශාන්ති දිසානායක කියන්නේ පොත් කියවන අයට නම් නුහුරු නමක් නෙමෙයි. ඇගේ හැම කෘතියකම වගේ වියලි කලාපයේ දුෂ්කර ජීවිතය අපූරුවට ගළපලා තියෙනවා. “ගිරිකුල”, “හැන්දෑව”, “වරාමල්”, “අග්නි,සංග්‍රාමය”, “ගිරිදේවි”, “වාලුකා” වගේ ගොඩක් පොත් වල ඇය දුප්පත්කම, පරිසරයේ දුෂ්කර බව එක්ක දුක් විඳින මිනිස්සුන්ගේ ජීවිත වල අපිවත් කොටස්කාරයෙක් කරවනවා. ඒ වගේම ඇගේ නවකතා වලින් තනපු ටෙලිනාට්‍යත් අතිශය ජනාදරයට පත් වෙනවා. මෑතකදි ආපු “මහපොළොව”, “ගිරිදේවි” සහ “සකර්ම” ටෙලිනාට්‍ය ඒකට හොඳම උදාහරණයි. එතුමිය විසින් රචිත කෘති ලෙස පහත කෘති හඳුනාගත හැකිය. 

  • එරන් ලන්දු
  • රාන්චි අම්මා
  • වර්ණා
  • අමල් බිසෝ
  • සරුංගල්
  • හැන්දැව
  • ද්වාර
  • වංකගිරිය
  • දඩ මංකඩ
  • ලපලු
  • අදුන් ගිර
  • පුලිගු
  • කළු කුම්බරි
  • අංගනා
  • අග්නි
  • ගිගිරි
  • දොලොස් මහ
  • වරා මල්
  • හිරු මඩල
  • නිකිනි
  • කොමඩු ඇටය
  • වීණා
  • ගිරි කුල
  • පරඩැල්
  • හින්නි හාමි
  • දේදූන්න
  • වාලුකා
  • ගිරි දේවි
  • කැදැල්ල 1
  • කැදැල්ල 2
  • කැදැල්ල 4
  • කැදැල්ල 5

                                                                  

                                                                     ♡♡ශෂී♡♡✍ 


       

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...