Total Pageviews

Thursday, January 20, 2022

මද්දු

 


මද්දු මාදං ගහේ උඩම අත්තට වී හිඳ කළු ගැසුණු මාදං කඩා පැත්තකින් ඉරී ඇති කොට කලිසම් සාක්කුවට ඔබා ගනී..

ලොක්කක්කේ මේ..

අනේ මද්දු මටත්..

බිමට කඩා දමන මාදං මද්දුගේ ලොකු අක්කා වන මහීමා එකතු කරයි..

ලොක්කක්කේ ආං අර කුරුල්ලා.. උගේ නම මොකක්ද ලොක්කක්කේ..

අනේ මංදා මද්දු..

උගේ පුක රතුයිනේ ලොක්කක්කේ.. අපි ඌට දාමු පුක රත්තා කියලා..

මහීමා හයියෙන් සිනාසී  අහුලාගත් මාදං  වලින් එකක් ගෙන කටට දමා ගත්තාය.

 දැන් යමු නේද මද්දු රෙදි ටිකත් ඇල ගාව..

ආ අක්කා නඟාලා දං කඩන්න ඇවිත් වගේ..

මද්දු ගහේ ඉඳන් බිම බැලුවේ ගැස්සීය.. නමුත් ලොක්කකගේ මුහුණේ ඇඳී තිබුනේ සිනහවකි. මද්දුට ඒ කටහඬ කාගෙදැයි සිතා ගැනීමට අපහසු වූ නමුත් මහීමා නම් ඒ කටහඬ ඇසෙන තුරු බලා සිටියා වැනිය. ඒ සිරිමල් අයියාය. ගුණවතී නැන්දාගේ එකම පුතා වන සිරිමල් අයියා ලොක්කක්ගේ පන්තියේ බව මද්දු දන්නා කරුණකි.

දඩාස්...

 මද්දු ගහේ සිට එකපාර බිමට පැන..

 ඇයි සිරිමල් අයියා කඩලා දෙන්නද ඇහුවේ..

කඩලා දෙන්න බැරිකමක් නෑ ඉතින්..

 ම්ම්ම්ම් ඕනේ නෑ අපි කඩා ගත්තා.. ලොක්කක්කේ අපි යන්..

කියමින් මද්දු ඉස්සර විය. මහිමාට සිරිමල් සමඟ කතා කිරිමට තදබල ලෙස වුවමනා වුවද මද්දු දෙදෙනාගේ මුහුණ දෙස වරින් වර බලමින් සිටී.

යමුකෝ ලොක්කක්කේ..

මෙතෙක් වෙලා යාමට හදිස්සි වූ මහීමාට දැන් වගේ වඟක් නැත.

අපි යනවා සිරිමල්..ආ මෙන්න

මාදං ගෙඩි කිහිපයක් සිරිමල්ගේ අතේ තැබූ මහීමා යන්නට හැරුනාය. මද්දු ගහේ නැඟ කැඩූ මාදං සිරිමල් අයියාට දෙනු දැකීමෙන් මද්දු තුළ තරහක් ඇති විය.. 

අනිද්දා එනවද පන්සලට..?

යාම පමා කරමින් සිරිමල් අයියා ලොක්කාගෙන් අසයි.

ම්ම්ම්ම් එන්න බලන්නම්..

හෙමින් යමුකෝ මද්දු..

මහීමා පිටුපස බලමින් මද්දුට කියයි..දිය පාර අසලට දුව ආ මද්දු ඡබොග් ගා වතුරට පැන්නේ දෙවරක් නොසිතාය.

හා..හා.. බොර කරන්නේ නැතුව නානවා මද්දු.. පල්ලෙහා කුසුමේ නැන්දලා නානවා.. දන්නවනේ කට..

මහීමා චීත්තය ඇඳ ගොඩ ගසා තිබූ රෙදි සෝදන්නට විය.

ලොක්කක්කේ මේ....

මද්දු තරමක් හඬ නඟා කෑ ගසන්නට විය.

කුඩා ඇල පහරට බැස රෙදි සෝදමින්  වෙනම ලොවක අතරමංව සිටි මහීමා ගැස්සී බැලුවේ සිදු වූ දෙය සිතා ගත නොහැකිවය. 

මොකද මද්දු බෙරිහන් දෙන්නේ මං උඩ ගියා..

ඉතිම් ලොක්කක්කේ උඩ ගිහින් බිම වැටුනේ නැද්ද.. 

මද්දු අත දිගු කර  පෙන්වමින්  ඇසුවාය. 

මේ...

මද්දු අල්ලාගත් මාලු අක්කාට පෙන්වමින් බෝතලයකට දැම්මාය. 

අනේ පවුකාර වැඩ කරන්න එපා මද්දු.. අහිංසක සත්තු ඔය..

 කිසිවක් ගාණකට නොගන්නා ඇය නෑසුනා සේ තවත් මාලුවකු අල්ලා ගැනීමට දිය පහර දෙසට නෙත් යොමු කළාය.

ඒක නෙවෙයි මද්දු....

මද්දුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත. ගොදුරක් ඩැහැ ගැනීමට මාන බලමින් සිටින සතෙකු සේ ඇය ඇසිපිල්ලම් ද නොගසා දිය පහර දෙස බලා සිටී. අසල තිබූ පනිට්ටුවට වතුර පුරවාගත් මහීමා මද්දුගේ දෙසට එය මුදා හැරීයේ මද්දුට කිසිවක් සිතා ගැනීමට පවා ඉඩක් නොතබිමිනි.  සිදු වූයේ කුමක්දැයි සිතා ගත නොහැකිව මද්දු විශාල කරගත් දෙනෙතින් යුතුව පිටුපස හැරී බැලුවාය. මහීමාගේ සිනහව මද්දුගේ කෝපයට හේතු විය. මද්දු වටපිට බලා අතට හසුවන දෙයක් නොතිබූ බැවින්, මහීමා නා හැඳ ගැනිමට ගෙනවිත් තිබූ ඇඳුම් පොදිය දෙවරක් නොසිතා වතුරට දාමා එහා ඉවුරෙන් ගොඩ වී ගෙදර දිව්වාය.

බෙදා තිබූ බතල පිඟානෙන් කෑල්ලක් කටේ ඔබා ගනිමින් මද්දු පිළ මත වාඩි විය. මද්දු පොල් සමඟ හනා  බතල කමින් මිඳුලේ පොල් අතු වියමින් සිටි අම්මා දෙස බැලුවාය.

අම්මේ.. මං කුසුමා නැන්දලාගේ ගෙදර ගිහින් එන්නද ටිකක්..

 ඇයි උඔට ඒ ගෑණි එක්ක තියෙන ගණුදෙනුව මොකක්ද..

නෑ මං ඉස්කෝලේ ඉදන් එද්දි කිව්වා ඒ පැත්තේ ඇවිත් යන්න එන්න කියලා.

අනේ මේ මද්දු.. ගෙදරට වෙලා මේ තියෙන වැඩක් කරපන්. එක එක ගෑනුන්ගේ ගුබ්බෑයම් අස්සේ රිංගන්නේ...

මද්දු කෝ බං අක්කා තාම නානවද..

මං දන්නෑ..

 බතල පිඟාන දෙස බලමින් මද්දු කීවාය.

 ඇයි බන් උඹත් එක්කනේ ගියේ.. 

හූම්ම්  එනවා ඇති දැන්..

මද්දු මවට පිළිතුරු දෙමින් කුස්සියට ගොස් සේදූ පිඟාන මේසය මත තබා පස් කණ්ඩියෙන් ගොඩ වී දුවන්නට විය.

උඹ එපා කියද්දිම යනවා නේද වරෙන්කෝ ගිහින්..

අම්මා කෑ ගසමින් බනින හඬ මද්දුට  ඈතට ඇසෙයි.

ඉස්තොප්පුවේ හිඳ පලා තෝරන කුසුමා නැන්දා වෙනදා නැති කලබලයකින් පලා වට්ටියට විසි කරමින් පාර දෙස බලයි. තමා පැමිණීම පවා කුසුමා නැන්දාට වඟක් නොවූ බැවින්, මද්දු කටහඬ අවදි කළාය.

 ඇයි නැන්දේ අද මාලතී අක්කවත් ගෙදර එනවා කිව්වද..

වෙනදාට කුසුමා නැන්දා මඟ බලා සිටින්නේ ඇයගේ එකම දියණිය වූ මාලතී අක්කා ගෙදර පැමිණෙන දාටය.

ආ මද්දු කොයි වෙලේද උඹ ආවේ.

දැන් ටිකක් වෙලා නැන්දේ.. 

බිම බලාගෙන ඇඟිල්ලකින් බිම පහුරු ගාමින් මද්දු කීවාය.

මේ ඒක නෙවෙයි මද්දුවෝ...උඹ උඩහින් එනකොට පාල මාමා එහෙම දැක්කේ නැද්ද..

කුසුමා නැන්දා විවාහ වී සිටින්නේ ගුණපාල මාමා සමඟය. කුසුමා නැන්දා ආදරේට ඔහුට කියන්නේ පාල කියාය. ගමේ සියලු දෙනාද ඔහුට පවසන්නේ පාල යන නමින්ය.

නෑ නැද්දේ මං දැක්කේ නෑ...

කුසුමා නැන්දා කටකොනින් සිනාසෙන්නේ කුමකටද කියා මද්දු විපරම් කළාය. එහා පාරේ සෝමේ මාමා අප සිටින දෙසට පැමිණෙමින් සිටී.

මං ඒත් බැලුවා අපිව අමතක වෙලාද කියලා.

 වෙනදා නැති සංවර බවකින්, පැද්දෙමින් කුසුමා නැන්දා සෝමේ මාමට පැවසුවාය.

 මේ අර සුමනේගේ ලමයා නේද..

මුහුනනට මුහුණ බලමින් සිනාසෙමින් සිටි දෙදෙනාගේ ඇස් මේ වන විට මද්දු දෙසට යොමු වී ඇත.

 ආ ඔව්.. ඔව්.. මද්දු දැන් උඹ ගෙදර පලයම් අම්මා හොයනවා ඇති.

නෑ නැන්දේ මං අම්මට කියලා ආවේ..

 යැයි පවසමින් මද්දු ඉස්තොප්පුවේ වාඩි විය.

 සෝමේ මාමා මද්දු අසලට පැමින ඔලුව අත ගා,

ආ.. මේකට හන්දියේ කඩෙන් ලොසින්ඡර අරන් වරෙන් මද්දුවෝ අපිටත් එක්ක..

 පවසමින් සත පනහේ කාසියක් මද්දු අත තැබුවේය.

 හා මාමේ..මං පටස් ගාලා අරන් එන්නම්.. 

යැයි පවසමින් මද්දු පස් කණ්ඩිය දිගේ පහළට බසිමින් දිව්වාය.

මද්දු හන්දියේ කඩෙන් ගත් ලොසින්ජර ගණන් කරමින්  කුසුමා නැන්දලාගේ ගෙදර පැමිණියද ගෙදර දොර වසා දමාය. ගේ වටේ ඇවිදිමින් බැලුමුත් පිටුපස දොරද වසා දමාය. මද්දුට කිසිවක් සිතාගත නොහැකිය.

මේ හදිස්සියේ කුසුමා නැන්දා කොහේ ගියාද.. මද්දු තමාටම කියා ගත්තාය.

එකවරම ගේ ඇතුලින් කටහඩක් සිහින්ව මද්දුට ඇසෙයි.

 කුසුමා නැන්දේ.. නැන්දේ... 

යනුවෙන් මද්දු බෙරිහන් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නැත.

 අතේ තිබූ ලොසින්ඡරයක් කටේ දමාගත් මද්දු බෑවුම දිගේ ගෙදරට දිව්වාය. මද්දු පැමිණෙන විට මහීමා කුප්පි ලාම්පු එලියෙන් රොටී වඩමින් සිටියාය.කුප්පි ලාම්පු එළියෙන් දිස්වන මහීමාගේ මුහුන දෙස මද්දු බලා සිටියේ ලොක්කක්කා කුමක් හෝ පවසයි යන බලාපොරොත්තුවෙනි.

 ආ ලොකු නෝනා.. රෝන්දේ ගිහින් ආවද.. 

මද්දු ගැස්සි බැලුවේ  තමාගේ පිටුපසින් ආ එම කටහඬටය.

ඉණට අත් දෙක  තියාගෙන තමා දෙස බලා සිටි අම්මා සැණෙකින් මද්දුගේ කණෙන් අල්ලා දෙපැත්තට සොලවමින්,

මං උඹට හැමදාම කියනවා නේද ගෙවල් ගානේ ඇවිඳ ඇවිඳ ගෑනුන්ගේ කටවල් දිහා බලන් ඉන්න එපා කියලා.

අම්මේ අම්මේ.. කුසුමා නැන්දට පාල මාමා හොදටෝම තඩි බානවා.. හැමෝම එහෙ දුවනවා. 

අක්කගේ කතාව නිසා මද්දු ගුටි කෑමෙන් බේරිණ.

කුසුමා නැන්දා ගැනත් අපි නොදන්නවැයැ ලොක්කි. නිකන් ගහන්නේ නෑනේ පාල මාමත්..

ඔවුන්ගේ කතා බහට මද්දුද හවුල් විය.

 ආ අම්මේ.. හවස එහා පාරේ සෝමේ මාමා එහෙට ආවා මං ඉද්දි.. පස්සේ මට ලොසින්ජර ගේන්න සල්ලි දුන්නා. මං ඒවා අරන් අයේ යනකොට කුසුමා නැන්දත් නෑ සෝමේ මාමත් නෑ...

 ඒ කොයි වෙලේද මද්දු.. මහීමා ඇසුවාය.

 හවස මං එහේ ගියේ..

අම්මා අක්කගේ මුහුණ දෙස බලා සිනා සී බිම බලා ගත්තාය.

පාල මාමා එක අතකින් හරි.. අම්මා එසේ කියා නැවත මා දෙසට දෑස් යොමු කළාය.

හැබැයි මද්දු තව එක පාරක් හරි උඹ ගිහින් අහුවෙයන්කෝ..

මද්දු බිම බලාගෙන, පිඟානෙහි වූ රොටියක්ද අතට ගෙන එය උඩ දමමින් ගෙහි මැද දැල්වෙමින් තිබූ කුප්පි ලාම්පු එළියට ඇඳි එන කුඩා මැස්සන් පිච්චී යන අයුරු බලා සිටින්නට විය. 

හා.. හා.. සිරිසේන කොලුවෝ.. ම..ට.. දැන් යන්න පුළු..වන්. උබ පලයන් දැන්.. ආපු පා..ර මතකයි නෙහ්...

 එලියෙන් ඇසෙන එම හඬට ඇහුම්කන් දෙමින් සිටි මද්දු, කටහඬ අඳුරගත් සැණින් හිඳ සිටි තැනින් නැඟිට කුස්සියට දිව්වාය..

 අම්මේ අම්මේ.. තාත්තා එනවා.. 

මද්දු තම මවට තුරුල් වෙමින් පැවසුවාය..

හා හා ලොක්කි.. උඹ නංගිත් එක්ක පලයන් කාමරේට..

බිම එළා තිබූ චිත්තය මත ගුලි වු මද්දු කන් යොමා සිටියේ තාත්තා බීමතින් පවසන  දේටය. අම්මා ගැන අනුකම්පාවක් ඇයට දැනෙයි. එදින සිදු වූ සියල්ල යලි ආවර්ජනය කරමින් මද්දු නින්දට වැටුනා පමනි ඇය ගැස්සී අවදි වුයේ අම්මාගේ ඒ වේදනාකාරී විලාපයත් සමඟය.

බුදු අම්මෝ.. ලොක්කියේ.. 

මද්දුගේ මව කියූ අවසන් වචන ටික වූයේ එයයි.

 සිදු වූ දෙය පිලිබඳ වගක් නොවු මද්දු නිදි පැදුරෙන් නැඟිට පැන්නේ ලොකු අක්කගේ කෑ ගැසීමටය. මද්දුට කිසිවක් තේරුම් ගත නොහැකි විය.මද්දුගේ මව මැටි පොළොව බඳා එහි වැතිර උන්නාය. කුප්පි ලාම්පු ‍එලිය මඳක් අඩු වී තිබූ නමුත් මැටි පොළව තෙත් කරමින් ගලා යන රතු පැහැති රුධිරය මද්දුට දිස් විය. කකුල් පන නැතිව ඇඳී වැටුනු මද්දු කුප්පි ලාම්පු එලියෙන් දිලිසෙන තාත්තගේ සුදු පාට මැටි පිඟානේ කෑලි තැනින් තැන විසිරී ඇති  ආකාරය දෙස බලා හයියෙන් අඬා කෑ ගැසීමට අවැසි වුවත් උගුරේ කුමක්දෝ යමක් සිර වී තිබීම නිසා ඇගේ නෙතින් කඳුළු බිදු ඇඳ වැටී මැටි පොළව තෙත් කරන්නට විය.මද්දුගේ තාත්තා වෙරිමර ගාතේ මද්දුගේ මව ලඟ හිඳ..

නැගිටපන් ලතා.. නැඟිටපන්කෝ.. කියමින් ඔලුවේ අත ගසා ගත්තේය..

මව වටේට කෑ ගසමින් කට්ටිය වටවන බව  මද්දුගේ නිලංකාරව යන දෑසින් යන්තමට පෙනුනු අතර මැටි පොළව මත දැල්ව තිබූ ලාම්පු එළියද කෙමෙන් නිවී ගියේය.


                                                                  ♡♡ශෂී♡♡✍              

2 comments:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...