Total Pageviews

Thursday, January 20, 2022

*ගුරු වලප* - ප්‍රදීපිකා පතිරාජ මහත්මිය

 


ගුරු වලප

පුද්ගල හැඟීම් ප්‍රකාශ කිරීමේ සෞන්දර්යාත්මක මාධ්‍යක් ලෙස අපට කවිය හඳුනාගත හැකිය. සමාජයේ ජිවත් වන විට අපට අත් විඳීමට සිදුවන අත්දැකීමක් හෝ පුද්ගල සන්තානයේ හැඟීමක් හෝ මෙයට පාදක විය හැකිය. මෙහිදී ප්‍රදීපිකා පතිරාජ මහත්මිය විසින් නිර්මිත ගුරු වලප නම් පද්‍ය නිර්මාණයද එවන් වූ පුද්ගල සන්තානයේ හැඟීම් ගොළු වූ අවස්ථාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇත. සමාජයේ ජිවත් වන විට අපට විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමට සිදු වේ. එහිදි අපට බාහිරින් පෙනෙන පුද්ගලයාට වඩා වෙනස් වූ පුද්ගලයෙක් ඔහුගේ අභ්‍යන්තරයේ  සිටී. විවිධ වූ අත්දැකීම් ලබමින් ඒ ඔස්සේ ජීවිතය හැඩගස්සවා ගනිමින් අප සමාඡයේ ජීවත් වෙයි. ජීවිතයට ලැබුනු, මුහුණ දීමට සිදු වූ එවන් වූ අත්දැකීමක් සම්බන්ධයෙන් මෙම පද්‍ය පන්තිය ප්‍රදීපිකා පතිරාජ මහත්මිය විසින්  නිර්මාණය කර ඇත.පද්‍ය පන්තිය පාසලක ගුරුතුමියකගේ චරිතය වටා ගෙතී ඇත.මෙය සැබෑ ජිවිතයේ මුහුණ දීමට සිදු වූ අත්දැකීමක් හෝ වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් විය හැකිය. පද්‍ය පන්තියෙහි ආරම්භය සනිටුවහන් කරන්නේ මෙහි ප්‍රධාන භූමිකාව වන ගුරුතුමිය ජිවිතයේ තමාට මුහුණ දීමට සිදු වූ අනපේක්ෂිත සිදුවිමක් සම්බන්ධයෙන්ය.

 

හුළං නැති ස්කූටරය තල්ලු කරගෙන       එනකොට

ළඟටම දිව විත් ඇයි ටීච මක් වීද               විමසන

විනාඩියකුදු නොයවා ගෙන සකලවිධ      ආයුධ

මා නොකී අඩුපාඩු සොය සොයා               සාදන

 

පාසලේ වැඩකටයුතු අවසන් වී නිවසට යාමට තම ස්කූටරය අසලට පැමිණෙන ගුරුතුමිය තම ස්කූටරයේ හුළං නැති බව දකී. දවසම මහන්සි වී පාසල් නිමාවෙන් පසුව ගුරුවරුන් නිවස බලා පිටත් වන්නේ නිවසේ තම භූමිකාවට අයත් කාර්ය භාරය ඉටු කිරීමේ සිත් ඇතිවය. නමුත් පද්‍ය පන්තියට පාදක වී ඇති ගුරුතුමියට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුව ඇත. එනම් තම ස්කූටරයේ හුළං නැති වීම නිසා එය තල්ලු කරගෙනම අසල ඇති සයිකල් වැඩපලට ගොඩ විමටය.සයිකල් වැඩපලේ සිටින්නේ ගුරුවරිය යටතේ පාසල් කාලයේ අධ්‍යපනය හැදෑරූ පන්තියේ අදක්ෂ යැයි සම්මත ශිෂ්‍යයෙකි. දහවල තෙහෙට්ටුවත් සමඟ ස්කූටරය තල්ලු කරගෙන පැමිනෙන ගුරුතුමිය දකින මෙම ශිෂ්‍යා වහා ගුරුතුමිය අසලට දුවවිත් ඇයි ටීච මොකද වුනේ යැයි විමසා අවශ්‍ය උපකරණ ගෙන ස්කූටරයේ ඇති දෝෂය සොයා එය නිවරදි කර එහි ඇති අනෙක් දෝෂද සකස් කරයි. වර්තමානයේ මඳක් උස් මහත් වූ විට මව පියා අමතක වන සමාජයක මේ ශිෂ්‍යා ගුරු භක්තිය සහිත උසස් පුද්ගලයෙකි. කෙතරම් බුද්ධිමත් වුවත් උසස් විභාග පාස් කරත් තමාගේ දෙමාපිය ගුරුවරුන් මෙන්ම තමාට අතහිත දුන් පිරිස් අමතක නම් ඔවුන් සමාජයේ පිළිගැනීමකට ලක් නොවේ. මෙහිදී ප්‍රදීපිකා පතිරාජ මහත්මිය භාවිතා කරන සරල බස් වහර අප ජීවිතය සමඟ සමීප වෙයි.

 

පසුම්බිය අරිනා විට

සල්ලි මොකටද ටීච

ඕනෙ වෙලෙක එන්ඩ

කියමින් මජං අත පිහිදන

වැඩියෙන්ම ගුටිකාපු අසමත් ම ශිෂ්‍යයා නුඹ

 

ස්කූටරයේ සියලු දෝෂයන් නිවරදි කර අවසන් වූ පසු ගුරුතුමිය තම පසුම්බිය ගෙන මුදල් ලබා දීමට සැරසෙන විට ශිෂ්‍යයා පවසන්නේ සල්ලි එපා ටීච ඕනේ වෙලාවක එන්න උදව් කරන්න කැමැත්තෙන් සිටිනා බවයි. සැබවින්ම මොහු උතුම් මිනිසෙකි. තම පාසල් වියෙහි ගුරුවරයාට භක්තියෙන් යුතුව සලකන සැබෑ ශිෂ්‍යයෙකි. පන්තියේ වැඩියෙන්ම ගුටි කාපු අසමත් යැයි හංවඩු ගැසූ දුර්වලතම ශිෂ්‍යයා වී සිටියේ මොහුය. නමුත් ඔහු හදවතින් උතුම්ය.  ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත යන කියමන සත්‍ය වන්නේ මෙවන් අවස්ථාවලදීය. සමාජයේ මිනිසුන් වන අප එකිනෙකා හා ගත් කල විවිධාකාරය. සිතුවිලි බාහිර ස්රූපය ගතිපැවතුම් මේ ආදී සියල්ල එකිනෙකාට අනුව වෙනස් වේ. එමෙන්ම එක් පුද්ගලයෙක් තවත් දේකට දස්කම් දක්වන විට තවකෙක් උපන් හපන්කම් දක්වන්නේ තවත් දේකයට. ලෝක ස්වභාවය වන්නේද එයයි. පාසලේ අධයාපන කටයුතු වලදී මොහුගේ සමවයස් මිතුරන් ඉගෙනිමට දස්කම් දක්වමින් ඒ ඔස්සේ දක්ෂ ලෙස ඉගෙනීමේ කටයුතු සිදු කළද මොහුගේ සහජ දක්ෂතාවය වී ඇත්තේ ඔහු මේ වන විට යෙදී සිටින කර්මාන්තයටය. සමාජයේ ජිවත් වීමේදී අපට සියලු පුද්ගලයන්ගේ උපකාරය අවශ්‍ය වේ. විවිධ වෘත්තීන් නොසලකා හරිමින් අපට කටයුතු කිරීමට නොහැකිය. ජීවිතයේ කුමන හෝ අවස්තාවක අපට එහි පිහිට අවශ්‍ය වෙයි.

 

දී යතුර මා අතට දණ නවා වඳිනා විට

යකුළු පහරක් වැදී දෙපළු විය පුතේ මා හදවත

 

ඔහු අද කිනම් තත්වයක සිටියද තමාට යහමඟ පෙන්වීමට වෙර දැරූ ගුරුතුමියට දණ නවා ගෞරව කිරීමට කිසිසේත්ම පසුබට නොවීය. ඔහු පාසල් කාලයේ අධ්‍යාපනයට දස්කම් නොදැක්කුවද මේ වන විට ඔහු තමා නිරතව සිටින කර්මාන්තය නිවරදිව සිදු කරගෙන යයි. වැදගත් වන්නේ ඔහුගේ සිතෙහි පැවති උතුම් මානුෂීය ස්වභාවයයි. ශිෂ්‍යා තමාට දණ නවා වඳින විට ගුරුවරියගේ සිතේ ඇති වූ හැඟීම කවියා මෙහිඳී දක්වන්නේ යකුළු පහරක් වැඳී දෙපළු විය පුතේ මා හදවත යනුවෙනි. ගුරුවරියගේ සිතේ ඇති වූ හැඟීම තවත් විසිතර කල යුතු නැත. ගුරුතුමියගේ සිතෙහි ඇති වූ සිතුවිලි සමුදායෙහි තෙරපීම ඇයව ඒ අවස්ථාවේ ගොළුවකු බවට පත් කරයි.  

 

නොබලා ඔබේ ඇස් දෙස

බිම බලාගෙන හැරී යමි

ඔබේ ගුණ වාර්තා පොතට ගත නොහැකි වූ

අසමත් ම  ගුරුවරිය ලෙස

 

මේ අවස්ථාවේ කිසිවක් පැවසීමට නොහැකි වූ ගුරුවරිය ගොළුව බිම බලාගෙන හැරී යන්නේ තම සිතෙහි වූ කණගාටු සහගත සිතුවිල්ලත් සමඟය. ගුරුවරියගේ සිතට දරාගත නොහැක්කේ මෙම ශිෂ්‍යයාගේ යහපත් ගුණාංග එදා පාසල් වාර්තා පොතට ඇතුළත් කිරීමට නොහැකි වීමයි. පුද්ගලයන් පිළිබඳ නිශ්චිතව අපට අවබෝධ කර ගැනීමට නොහැකිය. එක් එක් සමාජ අවස්ථාවන් වලදී අපට මුහුණ දීමට සිදුවන විවිධ අභියෝගාත්මක අවස්ථා වල පුද්ගලයන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකිය. තමාව මේ ආකාරයෙන් ගෞරවයට පාත්‍ර කරන ශිෂ්‍යයාට එදා තමන්ට පිළිසරණක් විමට නොහැකි වීම ගැන කනස්සල්ලෙන් එතනින් පිටව යන්නේ තමා අසමත්ම ගුරුවරිය ලෙසට සිතමින්ය.

 

පුද්ගලයන් ලෙස අප දස්කම් දක්වන්නේ එකම දේකට නොව. අප තුළ සහජ හැකියාවන් සැඟ වී ඇත. අප කල යුත්තේ නිවරදි ඇසුර යටතේ ඒ ඒ දක්ෂතාවයන් හඳුනාගෙන ඒවා ඔපමට්ටම් කර ගැනීමයි. එමෙන්ම සමාජයේ පවතින විවිධ කර්මාන්ත හෝ ඒවායේ නිරත වන පුද්ගපයන් අප කිසිසේත්ම අපහාසයට අගෞරවරයට පත් නොකළ යුතුය. කිවම් හෝ අවස්ථාවක අපට ඔවුන්ගේ සහය අවශ්‍ය වේ. පුද්ගලයාට වටිනාකමක් හිමිවන්නේ ඔහු තුල පවතින මානව ගුණාංගයන්ටය. කෙතරම් උගත් වුවත් ඔහු ලඟ උතුම් මිනිස් ගුණාංගයන් නොමැතිනම් ඔහු සාර්ථක පුද්ගලයක් නොවේ.  කවියා මෙම පද්‍ය නිර්මාණයෙහිලා සාර්ථක වී ඇති බව පද්‍ය නිර්මාණය රසවිඳින අප සිතෙහි ඇතිවන මනෝභාවයන් තුළින් පසක් කරගත හැකිය.

 

                                                                         ♡♡ශෂී♡♡✍

 

2 comments:

තුති පිදුම

*..සිංහල ගුරුතුමා..*                   💖                                         සැබෑ ගුරු සිසු ප්‍රේමය අවුලුවාලමින් උදා වූවා දිනක්  වෙන්ව...